සංශෝධිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

0
5

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සිය සහතිකය සටහන් කර තිබේ.

මෙම  පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පසුගිය ජනවාරි 23 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.

මෙම පනත් කෙටුම්පත, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහාවන පනත් කෙටුම්පතක්වන අතර මීට අදාළ ගැසට් නිවේදනය 2025 නොවැම්බර් 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් 2025 දෙසැම්බර් 3 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම සංශෝධන පනත මගින් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබාදීම, පීඨාධිපතිවරයකුගේ ධූර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව පිඨාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදීම සහ පීඨාධිපතිවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම අරමුණු කර ඇත. 

තවද, මෙමගින් අධ්‍යයන අංශයක ප්‍රධානියෙකු පත් කිරීමේදී කවුන්සිලය විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සංශෝධනය කර නිශ්චිතව දක්වා  ඇති අතර අධ්‍යයන අංශයක ප්‍රධානයකුගේ ධුර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව අධ්‍යයන අංශයක ප්‍රධානයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබා දෙන අතර, අධ්‍යයන අංශයක ප්‍රධානයකුගේ ධුර කාලය සම්බන්ධයෙන් අදාළ වන සීමාවන් හඳුන්වා  දී ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 2 දරන  විශ්වවිද්‍යාල (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here