ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග රැසකට එරෙහි නව එන්නතක් සොයා ගනී –  ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතර

0
4

ශ්වසන මාර්ගය ආශ්‍රිත වෛරස ආසාදන, බැක්ටීරියා ආසාදන, ආසාත්මිකතා මෙන්ම කැස්ස සහ උණ යන රෝගවලට එරෙහිව ආරක්ෂාව ලබාදිය හැකි නව එන්නතක් හඳුන්වාදීමට අමෙරිකාවේ ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලීය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.

එම සොයාගැනීම සිදුකිරීමට ලාංකික සම්භවයක් ඇති විද්‍යාඥ බාලි පුලේන්ද්‍රන් මහතා ද දායක වී තිබේ.

මෙම පොදු එන්නත මේ වන විට සතුන් යොදාගනිමින් සාර්ථකව පරීක්ෂා කර ඇති අතර, ඉදිරියේදී මිනිසා සඳහාත් සායනික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

වසර 200කට වැඩි කාලයක් පුරා එන්නත් නිපදවූ සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැර වූ “විප්ලවීය වෙනසක්” ලෙස මෙම නව ප්‍රවේශය හැඳින්විය හැකි බව පැවසේ.

සාම්ප්‍රදායික එන්නත් මගින් සිදු කරන්නේ එක් නිශ්චිත රෝගයකට එරෙහිව සටන් කිරීමට ශරීරය පුහුණු කිරීමය.

නමුත් මෙම නව එන්නත මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම වෙනුවට, ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය අනුකරණය කරයි.

මෙම එන්නත නාසයට ඉසින දියරයක් ලෙස ලබා දෙන අතර, එමගින් පෙනහළුවල ඇති මැක්‍රෝෆේජ් (Macrophages) නමැති සුදු රුධිරාණු සෛල ඕනෑම ආසාදනයකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි සීරුවෙන් සිටීමේ තත්ත්වයක (Amber Alert) තබයි.

සතුන් මත කළ පරීක්ෂණවලදී මෙම ආරක්ෂාව මාස තුනක් පමණ පැවති බව සඳහන් වේ.

ඒ අනුව, වෛරස් ශරීරගත වීම 100 සිට 1,000 ගුණය දක්වා අඩු කිරීමට මෙය සමත් වී ඇති බව පර්යේක්ෂකයන් පවසා ඇත.

වෛරස්වලට අමතරව Staphylococcus aureus සහ Acinetobacter baumannii වැනි බැක්ටීරියාවලට එරෙහිවද මෙය ආරක්ෂාව සපයයි.

දූවිලි මගින් ඇතිවන ඇදුම වැනි අසාත්මිකතා තත්ත්වයන් පාලනය කිරීමටද මෙමගින් සහනයක් ලැබෙන බව නිරීක්ෂණය වී ඇතිබව සඳහන් වේ.

ස්ටැන්ෆර්ඩ් හි මහාචාර්ය විද්‍යාඥ බාලි පුලේන්ද්‍රන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ,මෙය කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා හෝ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට පමණක් සීමා නොවී, පරීක්ෂා කරන ලද සෑම වෛරස් හා බැක්ටීරියා වර්ගයකටම පාහේ එරෙහිව ක්‍රියා කරන බවය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙලා ෆෙරේරා පවසා ඇත්තේ මේය “ඉතා උද්යෝගිමත් පර්යේෂණයක්” වන අතර, මිනිස් සිරුර තුළ සාර්ථක වුවහොත් ලොව පුරා පවතින ශ්වසන රෝග බර අවම කිරීමට මහත් පිටුවහලක් වනු ඇති බවය.

කෙසේ වෙතත්, මෙය තවමත් මුල් අදියරේ පවතින බැවින් විසඳාගත යුතු ගැටලු කිහිපයක් පවතින බව සඳහන් වේ.

මිනිස් පෙනහළුවල ගැඹුරටම ළඟා වීමට මෙය නෙබියුලයිසර් (Nebuliser) යන්ත්‍රයක් මගින් ලබා දීමට සිදු විය හැක.

ශරීරය නිරන්තරයෙන් “අධි සීරුවෙන්” තැබීම නිසා ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (Immune disorders) වැනි අතුරු ආබාධ ඇතිවේද යන්න සොයා බැලිය යුතු බව සඳහන් වේ.

පර්යේෂකයින් පවසන්නේ මෙම එන්නත දැනට පවතින එන්නත් වෙනුවට ආදේශකයක් ලෙස නොව, අතිරේක ආරක්ෂාවක් ලෙස භාවිතා කළ හැකි බවය.

විශේෂයෙන්ම නව වසංගතයක් ආරම්භයේදී, නිශ්චිත එන්නතක් නිපදවන තෙක් කාලය ලබා ගැනීමටත්, ශීත සෘතුවේදී පැතිරෙන විවිධ රෝගවලින් ආරක්ෂා වීමටත් මෙය මහඟු මෙවලමක් වනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here