පැණි රස වෙනුවට ආදේශක ආහාරයකට යොමුවීමේ වැදගත්කම පෙන්වාදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය Sugar Tax නැවත බලාත්මක කිරිම පිළිබඳව අවධානය යොමුකරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව පුද්ගලයෙක් නිරෝගීව සිටීමට වසරකට සීනි කිලෝග්රැම් 10 ක් පමණක් භාවිත කළ යුතු වුවත්, මෙරට පුද්ගලයෙක් වසරකට සීනි කිලෝග්රෑම් 34 ක් භාවිතා කරන බවට අනාවරණය වී ඇති බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ 5 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා එම අදහස් ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් පැවසුවේ, මුඛ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වසර 10 කට වරක්වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති අතර, ශ්‍රී ලංකාව අඛණ්ඩව එය සිදුකරන රටවල්වලින් එකක් බවය.
මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය – 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර තිබේ.
ජාතික මුඛ සමීක්ෂණය සාර්ථක කරගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (06) පෙරවරුවේ පැවැත්වුණි.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩ වල අහඹු ලෙස තෝරා ගත් 10,000 ක නියැදියක දත්ත එකතු කිරීම කිරීමටයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
මෙහිදී පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළ දී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් නියමිතය.
මෙම සමීක්ෂණයේ දී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරීම අතිශය වැදගත්වන බැවින් ඉහත සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Saru News
















