ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල ලියාපදිංචිය සහිත, මෙරට ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම වන ‘Lily Lanka App’ එළිදැක්වීම ඊයේ (17) කොළඹදී සිදු විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා දෙස් විදෙස් විශේෂ අමුත්තන් රැසක් සහභාගී වුණි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් එක් තැනකින් ලබාදීම මෙම යෙදුමේ මූලික අරමුණ වේ.
ශක්තිමත් සංචාරක ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක අවශ්‍යතාවය මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.
සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝලීය සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් හැඩගැසී ඇත්තේ සංචාරකයින් ගමනාන්ත සොයා ගන්නා ආකාරය සහ වෙන්කරවා ගන්නා ආකාරය කෙරෙහි බලපාන ඩිජිටල් වේදිකා මත බවයි. ඩිජිටල් ආර්ථිකයක් සහ ස්මාර්ට් සංචාරක ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ගෙන ඇති හැරවුම කෙරෙහි සමපාත වන කාලෝචිත මුලපිරීමක් ලෙස LilyLanka පෙන්වා දිය හැකි අතර, රට තුළ සංචාරක ආදායමෙන් වැඩි කොටසක් රඳවා ගැනීමට ද මෙය උපකාරී වනු ඇතැයි පෙන්වා දුන්නේ ය.
රජය සහ කර්මාන්ත අතර ශක්තිමත් සහයෝගීතාවයක් තිරසාර වර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින්, හෝටල්, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක ආයතනවලින් වේදිකාවට ක්‍රියාකාරීව සහාය වන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්තයක් ලෙස වඩා හොඳින් සැලසුම් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික රාමුවක් තුළ සංචාරක දත්ත කළමනාකරණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා කියා සිටියේය.












Saru News
















