කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෘත්තිකයන්ගේ සංගමය සිය වෘත්තීය ගැටළු පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල්කාන්ත සමඟ ඊයේ (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක නිරතව තිබේ.
එහිදී කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෘත්තිකයන්ගේ සංගමය සිය වෘත්තිය තුළ පවතින ගැටළු එකින් එක පැහැදිලි කර ඇත.
මෙහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇති පළමු ගැටළුව වූයේ වැඩ බලන දීමනා පෙරදාතම් කර ලබා නොදීමට අමාත්‍යාංශ ලේකම් විසින් ගෙන ඇති තීරණයයි. මෙම තීරණය හරහා සිය වෘත්තිකයන් අසාධාරණයට ලක්ව ඇති බව ඔවුන් විසින් පෙන්වා දී ඇත. මීට පිළියමක් වශයෙන් අමාත්‍යාංශ ලේකම් පවසා ඇත්තේ ප්‍රථමයෙන් 2025 වසරේ ගෙවීම්ද අනතුරුව 2024 ගෙවීම්ද වශයෙන් පිළිවෙලින් එම දීමනා ගෙවීමට කටයුතු කරන බවය. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ ගැටළුව පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් වී ඇත. දැනට ස්ථාන මාරු සම්බන්ධයෙන් යම් අපැහැදිලි තත්වයක් නිර්මාණය වී ඇති බැවින් ස්ථාන මාරු නිලධාරීන්ගේ එකඟතාවය මත පමණක් සිදු කර ගැනීම සුදුසු බව යෝජනා වී තිබේ.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ පරිවර්තන ගමන් වියදම් දීමනා ගැටළු නිරාකරණය කර ගැනීම අවශ්‍ය බව මෙහිදී වෘත්තිකයන් විසින් පෙන්වා දී ඇත. ඊට අදාළ බාධාවන් ඉවත් කර එම දීමනාව සුදුසු පරිදි ගෙවිය යුතු බව සංගමය විසින් යෝජනා කර තිබේ. කාර්යාල පවත්වාගෙන යනු ලබන වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා කාර්යාල උපකරණ ලබා දීම රජය මඟින් සිදු කළද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්ට එම පහසුකම් නොලැබෙන බව මෙහිදී අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ඇමති ලාල්කාන්තගේ සහ අමාත්‍යාංශ ලේකම්ගේ අවධානය යොමු වී තිබේ.
කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී ඇත. ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිකම නිසා තමන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වන බැවින් ඒ සඳහා කඩිනම් පියවරක් ගත යුතු බව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෘත්තිකයන්ගේ සංගමය පෙන්වා දී තිබේ. ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග සඳහන් කර ඇත.
දැනට උපාධිධාරී කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ඔවුන් අවස්ථා කිහිපයකදී අසාධාරණයකට ලක්ව තිබේ. බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව බඳවා ගැනීමෙන් මොවුන්ට හිමිවිය යුතු අවස්ථා අහිමි වී ඇත. මෙම ගැයළුව සම්බන්ධයෙන්ද සංගමය ඇමති ලාල්කාන්තගේ අවධානය යොමු කර තිබේ. ඩිප්ලෝමා හා එක් අවුරුදු පුහුණු කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සඳහා සුදුසුකම්වලට අදාළව තනතුරක පිහිටුවා ගැනීම පිළිබඳවද අවධානය යොමු විය යුතු බව මෙහිදී පෙන්වා දී ඇත.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෘත්තිකයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ තවත් ගැටළුවක් වූයේ දැනට ගොවිජන බැංකුවලට අනුයුක්තව කටයුතු කරනු ලබන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා කළ යුතු රාජකාරියට අදාළ වූ තනතුරක පිහිටුවා ගැනීමයි. ගොවිජන සේවා කාරක සභාවේ කටයුතු විනිවිදව සිදු කළ යුතු බවද සංගමය විසින් පෙන්වා දී තිබේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටම ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරි කටයුතු එකම ක්‍රියාත්මක සැලැස්මකට ගෙන ඒමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කර ඇත. ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී ඇති අතර ඒවා විමර්ශනය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීම සුදුසු බවද සංගමය විසින් පෙන්වා දී තිබේ.
මෙහිදී සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් ඇමති ලාල්කාන්ත දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෘත්තිකයන්ගේ සංගමය ප්‍රසාදය පළ කර ඇත.

1
Saru News










