සතියේ දවස් හයක්ම වැඩ කරලා, හත් වෙනි දවසත් පුද්ගලික වැඩ වලට ඇරුණට පස්සේ හුස්ම ගන්නවත් විවේකයක් ලැබෙන්නේ නෑ. හැබැයි ඉතින් ඉඳලා ඉඳලා සති අන්තයක්ම නිවාඩු ලැබුණොත්, එහෙම නැතිනම් දීර්ඝ සති අන්තයක් සෙට් වුනොත්, එහෙමත් නැත්නම් ඇනුවල් ලීව් සෙට් වුනොත් අපි කරන පළවෙනිම දේ තමයි යාලුවෝ සෙට් එකත් එක්ක නැතිනම් පවුලේ අයත් එක්ක කොහේ හරි ලස්සන පළාතකට ට්‍රිප් එකක් දාගන්න එක. හැබැයි මේ ට්‍රිප් එකේ පරමාර්ථය කෑම්පින්, හයිකින්, කඳු නැගීම් වගේ ඇඩ්වෙන්චර් වැඩ නෙවෙයි. ලස්සන පැත්තකට ගිහින් යාලුවෝ නැත්නම් ගෙදර අය එක්ක පොඩි ජොලියක් දාලා, ඕන නම් පොඩ්ඩක් ළඟ පාත ඇවිදලා, පුලුවන් තරම් විවේකීව ඉන්න එක. ඒකට තමන්ගේ සෙට් එකටම විතරක් ගන්න පුලුවන් බංගලාවක් එහෙම සෙට් වෙනවා නම් තවත් සුපිරි. බඩු ගෙනිහින් දුන්නම අපිට ඕන කරන කෑම බීම හදලා දෙන්න කුක් කෙනෙකුත් ඒ බංගලාවේම ඉන්නවා නම් මල් හතයි! ආන්න ඒ වගේ හොලිඩේ බංගලා කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඊළඟ ට්‍රිප් එකට බුක් කරගෙන ගිහින් ආතල් එකක් අරන් එන්නයි තියෙන්නේ!
1. Gonadika Holiday Bungalow – Wattappola

Image Source – bali-local.com
මේ බංගලාවට යන්න තියෙන්නේ කඩුගන්නාවෙන් ගම්පොළ පැත්තට හැරිලා. පඩි පෙළ නැගලා යනකොටම මහේශාක්‍ය ලීලාවෙන් නැගී ඉන්න බංගලාව බොහොම සුන්දරව පේනවා. සැප පහසුව ඉන්න පුලුවන් හොඳට ඉඩ කඩ තියෙන කාමර විතරක් නෙවෙයි, සාලයේ වුනත්, එලියේ පහලියේ වුනත් අත පය දිග ඇරලා ඉන්න ඉඩක් තියෙනවා. දෙන්නත් එක්ක නම් ගමන ගියේ කොණක තියෙනවා ලොකු පැද්දෙන බංකුවක් වගේ ඔංචිල්ලාවක්. හවස් වරුවේ දෙන්නත් එක්ක ඒ ඔංචිල්ලා බංකුවේ හරි බරි ගැහිලා, හෙමිහිට පැද්දෙන ගමන් ඈතට ඈතට පේන සුන්දර කඳුකර දර්ශනය දිහා බලාගෙන ඉන්න එක මොන වගේ රොමෑන්ටික් අත්දැකීමක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙතන හුරුබුහුටි පිහිනුම් තටාකයකුත් තියෙනවා. බඩුමුට්‍ටු ගෙනිහින් දුන්නහම කෑම හදලා දෙන්න හොඳ කුක් කෙනෙකුත් ඉන්නවා. කාලා තියෙන රසම බාබක්‍යු එක මේ කුක් මහත්තයාගේ වුනත් අපි පුදුම වෙන්නෙ නෑ!
දුරකථන අංකය: 0764794654
තැන මෙතන:
2. Ella Planters Bungalow – Karandagolla

Image Source – tripadvisor.com
ඇල්ල වතුහිමියන්ගේ බංගලාව කියන්නේ ඇත්තටම බජට් බංගලාවක් නෙවෙයි. හැබැයි ඉතින් රිලැක්ස් වෙන්න යන්න කියාපු තැනක්. ඕන නම් යාලුවෝ සෙට් එකක් එක්කම යන්න පුලුවන්. එහෙම ගිහින් එපාට්මන්ට් එකක්ම ගන්නත් පුලුවන්. ස්විමින්ග් පූල්, ටෙනිස් කෝට් වගේ පහසුකම් හැම එකක්මත් මෙතන තියෙනවා. ඇත්තටම ඇල්ල වතුහිමියන්ගේ බංගලාව කිවුවට මේක පිහිටලා තියෙන්නේ ඇල්ල කිට්‍ටුව, රාවණා ඇල්ලටත් බොහොම කිට්‍ටුව. ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ දකින්න තියෙන සුන්දර කඳු පංති දර්ශනයක් මෙතනට පේන්න තියෙන්නේ. බොහොම සෞම්‍ය, සුවදායී දේශගුණයක් තමයි දැනෙන්නේ. ඉතින් උදේට නැගිටලා ඈතින් ඈතට විහිදුණු කඳු පංති පේන දර්ශනය රස විඳිමින් බැල්කනියට වෙලා තේ කෝප්පයක් බොන එකේ සතුට විඳගන්න මේ වගේ තැනක් මරු.
දුරකථන අංකය: 0552055600
තැන මෙතන:
3. Emerald Villa – Payagala

Image Source – booking.com
පයාගලින් මුහුද පැත්තට හැරිලා එහෙන් මෙහෙන් ගම්මැද්දෙන් ගිහින් වැටෙනවා මුහුදු වෙරළ පෙනි පෙනී තියෙන ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අනුව හැදුවා වගේ පේන හුරුබුහුටි පුංචි බංගලාවක් ගාවට. මේන්න මේ තමයි එමරල්ඩ් විලා. මෙතන පිටිපස්සේ එලිපත්තෙන් එලියට බැස්සහම මුහුදට මීටර් කීපයයි. ඕනෑ නම් මූදු හුළඟ වැදි වැදී බිම පඩි පෙළේ වාඩි වෙලා ඉන්න පුලුවන්. එහෙමත් නැතිනම් එලියේ සිමෙන්ති සමර් හට් එකක් යට වාඩි වෙලා ඉන්න පුලුවන්. එහෙමත් නැතිනම් ඇතුලේ මැද මිදුල ආසන්නයේ සුවපහසු පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන්. මේ කොහොම හිටියත් මුහුදේ සද්දේ වගේම මුහුදු හුළඟත් ඇවිත් ඇඟේ වදිනවා. මුහුද සැර නැති කාලෙක ගියා නම් බයක් නැතුව හවස් වරුවේ මුහුදට බැහැලා නාන්නත් පුලුවන්. ඉතින් විවේක ගන්න මේ වගේ තැනක වටිනාකම කියලා නිම කරන්න පුලුවන්ද?
මෙතන කාමර තුනයි. එකක ඇටෑච් බාත් රූම්. ගොඩක් වෙලාවට හය දෙනෙක්ට වගේ තමයි බංගලාව දෙන්නේ. කෑම බඩු මුට්‍ටු ගෙනිහින් දුන්නහම ආස කරන කෑමක් හදලා දෙන්න කුක් කෙනෙකුත් ඉන්නවා.
තැන මෙතන:
4. Dream Bungalow – Tangalle

Image Source – booking.com
කලපුවත් මුහුදත් අතර තියෙන පටු බිම්කඩක, මුහුදු වෙරළේ මුහුදු හුළඟට අව පාට ගැන්වුණු බවක් පේන විදියේ ලී වලින් හදලා, බිමට මැදපු සිමෙන්ති දාලා තියෙන ලී ගෙයක ඉන්න එක මොන වගේ අත්දැකීමක් වෙයිද? එලිපත්තේ හාන්සි පුටුවක වාඩි වෙලා කෝපි කෝප්පයක් බිබී ඉන්න හවස් වරුවක අපිට ඇහෙන්නේ මුහුදේ ගෝසාවත්, මුහුදු හුළඟින් සෙලවෙන, ගේ ඉස්සරහා එල්ලලා තියෙන බෙලිකටු සැරසිල්ලේ ශබ්දයත් විතරයි. මෙහෙම වාඩි වෙලා ටිකින් ටික ඉර මුහුදේ ගිලෙන හැටි බලාගෙන ඉන්න එක වෙනමම අත්දැකීමක්. අන්න ඒ අත්දැකීම ලබාගන්න නම් හොඳම තැන තමයි ඩ්‍රීම්ස් බංගලාව. ඇත්තටම ඒ නමත් මෙතනට ගැලපෙනවා. මේ කොටේජ් ටයිප් බංගලාව ගොඩක්ම හොඳයි දෙන්නත් එක්ක ගිහින් එන්න. අවශ්‍ය කෑමක් බීමක් හදාගන්න කුස්සියකුත් තියෙනවා. මෙතන ඉඳලා හුම්මානයටත් වැඩි දුරක් නෑ.
දුරකථන අංකය: 0714335523
තැන මෙතන:
5. Kirinda Walauwa – Gampola

Image Source – booking.com
ගම්පොල තියෙන කිරින්ද වලව්ව කියන්නේ ඇත්තටම බොහොම මහේශාක්‍ය පෙනුමක් තියෙන වලව්වක් වගේ බංගලාවක්. බොහොම ලස්සන, ඉඩ කඩ තියෙන උද්‍යානයකුත් මෙතන තියෙනවා. මේ උද්‍යානයට වෙලා වාඩි වෙලා කතාවක් දාගෙන ඉන්න පුලුවන් තැන්, ඇවිදින්න පුලුවන් මං පෙත් එහෙමත් එමටයි. ඕන නම් කුස්සියට සෙට් වෙලා ගමේ කෑම වේලක් උයා පිහා ගන්නත් මේ අය ඉඩ සලසලා තියෙනවා. ඒ වගේම පැරණි කාර් පිස්සුව තියෙන කෙනෙක්ටත් මෙතන හොඳටම ගැලපෙයි. ඒ මේ අය ගාව තියෙන පැරණි කාර් කලෙක්ෂන් එක නිසා. ඕන නම් පොඩ්ඩක් නැගලා බලන්න, රවුමක් යන්න එහෙමත් බැරි වෙන එකක් නෑ. මේ වෙනකොට පරම්පරා අටක්, දහයක් විතර ජීවත් වෙලා තියෙන මේ වලව්වේ දිනයක් ගත කරන එක වෙනමම අත්දැකීමක් වෙනවා ෂුවර්.
දුරකථන අංකය: 0777780782
තැන මෙතන:
Cover Image Source – booking.com
The post විවේකී සති අන්තයක් ගෙවන්න යන්න බංගලා නිවාඩු නිකේතනයන් 5ක් මෙන්න! appeared first on Lifie.LK.
Saru FM Media