විපක්ෂයේ විරෝධතා මැද ට්‍රම්ප් හොන්ඩුරාස් නව ජනාධිපති හමු වේ ! – Saru News | සිංහල

0
5

මධ්‍යම ඇමරිකාවේ දුප්පත්ම සහ ප්‍රචණ්ඩකාරීම රටක් ලෙස සැලකෙන හොන්ඩුරාස් හි පැවැත් වූ දැඩි මතබේද කාරී ලෙස පැවැත් වුණු ජනාධිපතිවරණයෙන් ජයගත් දක්ෂිණාංශික Nasry Asfura පෙබරවාරි 07 වනදා ට්‍රම්ප් හමු වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. වසර 04ක පැවැති Xiomara Castro මහත්මියගේ වාමාංශික පක්ෂ පාලනය අවසන් කරමින් Nasry Asfura බලයට පැමිණියේ ට්‍රම්ප් ගේ සහයෙන් යැයි චෝදනා එල්ල වන අතර, මැතිවරණ ප්‍රථිපල ප්‍රසිද්ධ කිරීමට සුමාන තුනක කාලයක් එරට මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරනු ලැබ තිබුණි. ට්‍රම්ප් හා Nasry Asfura ගේ හමුව ඒ අනුව එරට වාමාංශික විපක්ෂය විසින් ඉතා දැඩිව විවේචනය කරනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය විසින් එරට ස්වාධිපත්‍යයට සිදු කරන ලද අනිසි මැදිහත් වීමක් ලෙස සලකමිනි.

මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යය යනු සීතල යුධ සමයේ දකුණු ඇමරිකාව තුල කොමියුනිස්ට් විරෝධී ප්‍රති විප්ලවීය ගරිල්ලා කණ්ඩායම් හා සන්නද්ධ කල්ලි ඇමරිකානු හමුදා විසින් පුහුණු කරනු ලැබූ රාජ්‍යයක් ලෙසය. දුෂිත හා මාෆියා කණ්ඩායම් මෙහයවන පාලනයන් පැවැති හොන්ඩුරාස් රාජ්‍යයයේ මීට වසර 4කට පෙර ඉතිහාසයේ ප්‍රථම වතාවට වාමාංශික Xiomara Castro ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී පක්ෂයකට බලයට පත් වීමට හැකි විණි. මත්ද්‍රව්‍ය, මිනීමැරුම් නිසා ඇමරිකාවට පවා හිසරදයක් වූ හොන්ඩුරාස් හි සම්ප්‍රදායික දක්ෂිණාංශික නායකයින් පරදවා බලයට පැමිණි Xiomara Castro රටේ දුප්පත්කම, අසමානත්වභාවය, නුගත්කම නැති කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබුවාය.

නමුත් 2025 නොවැම්බර් 30 වනදා හොන්ඩුරාස් හි නව ජනාධිපතිවරයෙකු තේරී පත්වීමට කැඳවූ මැතිවරණයට දින කිහිපයකට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී ඇමරිකාවේ සිරගත කරන ලද හිටපු ජනාධිපති Juan Orlando Hernándezහට සමාවක් ප්‍රකාශයට පත් කළේ ඔහුගේ දූෂිත ජාතික පක්ෂයේ අපේක්ෂක Nasry Asfura බලයට පත් නොවුණහොත් සියළු ආධාර කපා දමන බවටද තර්ජනය කරමිනි. නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ, හොන්ඩුරාස් හි වසර 12 කට වැඩි කාලයක් ආර්ථික අර්බුදයකට ඇද දැමූ, දූෂිත දේශපාලන පක්ෂයක් වූ ජාතික පක්ෂය නැවත නැඟිටීමේ අනතුර පිළිබඳව බොහෝ සිවිල් සංවිධාන ඒ අනුව ජනතාවට අනතුරු ඇඟවීය. නමුත් රටේ ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මනාප අපේක්ෂකයා වන ජාතික පක්ෂයේ Nasry Asfura ජයග්‍රහණය කල බව ප්‍රකාශයට පත් කළේය.

 හොන්ඩුරාස් මැතිවරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමට ප්‍රතිචාර වශයෙන්, මැතිවරණයෙන් ටික කලකට පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 45 ක සිර දඬුවමක් විඳිමින් සිටි ජාතික පක්ෂයේ  හිටපු හොන්ඩුරාස් ජනාධිපති Juan Orlando Hernández නිදොස් කොට නිදහස් කළේය. ඒ අනුව එහි දිගුවක් ලෙස සෙනසුරා දා දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂ ජනාධිපති Nasry Asfura හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු හමුවීම සෙනසුරාදා සිදු විණි.

“ටිටෝ සහ මම ඇමරිකාව පළමුව යන එකම අරමුණක සිටිමින් බොහො සමාන ඉලක්ක බෙදා ගනු ලැබුවා. දෙරට අතර ආයෝජන සහ වෙළඳාම පිළිබඳව සාකච්ඡා කළා යයි හොන්ඩුරාස් හි නව ජනාධිපතිවරයා හමුවීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍ය වෙතට ප්‍රකාශ කරනු ලැබිණි.

වයස අවුරුදු 67ක් වන Nasry Asfura හිටපු ඉදිකිරීම් ව්‍යවසායකයෙකු වන අතර දකුණු ඇමරිකාව තුල ඇමරිකාව උදව් කිරීමෙන් බලයට පත් වූ ප්‍රථමයා නොවන අතර චිලී, බොලිවියාව, පේරු සහ ආර්ජන්ටිනාවේ දක්ෂිණාංශික ජයග්‍රහණය පිටුපස ද ජනාධිපති ට්‍රම්ප් සිටියේය. ලතින් ඇමරිකාවේ වෙනිසුවේලාව, කොලොම්බියාව, කියුබාව ඇතුළු සියළුම වාමාංශික පාලනයන් පෙරලා දැමීමට දියත් කර ඇති ඇමරිකානු ව්‍යාපෘතිය තුල ඇදවැටුණු නවතම රාජ්‍යය වනුයේ හොන්ඩුරාස් හි වසර 4ක් පැවති Xiomara Castroගේ සමාජවාදී පාලනයයි. ඇයගේ වාමාංශික අපේක්ෂකයා වන Salvador Nasrallaමැතිවරණය පරාජ වනුයේ චන්ද 30000 කින් වන අතර වංචා චෝදනා මධ්‍යයේ ප්‍රතිඵල සති තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර පසුව ජාතික පක්ෂයේ Nasry Asfura ජයග්‍රාහකයා ලෙස එරට මැතිවරණ කොමිසම (CNE) පිළිගනු ලැබුවේ සිවිල් සංවිධාන වල බලවත් විරෝධය මධ්‍යයේය.

ප්‍රතිඵල සම්ප්‍රේෂණ මෘදුකාංගවල නොගැලපීම් සහ අක්‍රමිකතා සත්‍යාපනය නොකිරීම හේතුවෙන් එරට මැතිවරණ කොමිසමේ CNE අවසන් ප්‍රකාශය දැඩි විවේචනයට ලක්ව ඇත. සිවිල් සංවිධානවලට අනුව, මෙම මැතිවරණය හොන්ඩුරාස් හි බලවත් ආර්ථික හා ව්‍යාපාරික ප්‍රජාව, එක්සත් ජනපද රජය සහ විදේශීය ආයතනික අවශ්‍යතා අතර සැලකිය යුතු ඇමරිකානු මැදිහත්වීමක අනුග්‍රහය ඇතිව සාකච්ඡා කරන ලද රහස් සම්මුතියක ප්‍රථිපලයකි. මෙම මැතිවරණ ක්‍රියාවලියේදී හොන්ඩුරාස් ජනතාවට රටේ ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය සඳහා ඇති මූලික අයිතිය ද අහිමි කර ඇතැයි ඔවුහු චෝදනා කරති.

එක්සත් ජනපදයේ මෙම මැදිහත්වීම පසුගිය වසර හතර තුළ Xiomara Castro විසින් ගන්නා ලද මානව හිමිකම් සහ සමාජ යුක්තියේ ප්‍රගතිය අඩපණ කරනු ඇත. එය රට තුළ මාෆියා ආයෝජන නැවත ස්ථාපිත කිරීමට පහසුකම් සපයන අතර එය හොන්ඩුරාස් ජනතාවට සෘජුවම බලපායි. බොහෝ විට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සහ දූෂණ ජාල වටා ව්‍යුහගත කර ඇති මෙම දූෂිත හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර එම ජනතාවගේ ජීවිත බරපතල තත්වයකට ඇද දමනු ඇත.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසර හතර තුළ, Xiomara Castro ගේ නායකත්වය යටතේ (2022-2026), මත්ද්‍රව්‍ය-ඒකාධිපතිත්වය මගින් චිරාත් කාලයක් පවත්වාගෙන ආ දූෂිත ප්‍රතිපත්ති අහෝසි කිරීමට උත්සාහයන් කිහිපයක් ගෙන ඇත. මේවාට “ZEDEs ලෙස හඳුන්වන වර ප්‍රසාද ලත් නගර නිර්මාණය කිරීම, බලශක්ති අංශයේ පෞද්ගලීකරණයන් වේගවත් කිරීම සහ මහජන අවශ්‍යතාවට හා සෞඛ්‍යට බෙහෙවින් අහිතකර වන රාජ්‍ය-පෞද්ගලික යටිතල පහසුකම් සහිත දූෂිත ගිවිසුම් අහෝසි කිරීම් ද ඇතුළත් වේ.

පසුව මාධ්‍ය ඇමතූ Xiomara Castro තමා කැමති අපේක්ෂකයා ජයග්‍රහණය නොකළහොත් හොන්ඩුරාස් සඳහා ආධාර අඩු කරන බවට විශේෂයෙන් තර්ජනය කළ ට්‍රම්ප් ගේ “මැදිහත්වීම” තරයේ හෙලා දුටුවාය.      ඇයගේ වාමාංශික අපේක්ෂකයා වන Salvador Nasralla 39%ක් ලබාගෙන තිබිණි. Nasry Asfura 40%ක් ලබා තිබිණි.

නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට පෙර පවා, Nasry Asfura ජනවාරි 12 වන දින ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හමුවී තිබුණි. ඔහු නැවත පැමිණියේ එක්සත් ජනපදය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරමින් හොන්ඩුරාස් අපනයනවලින් 60% ක් සඳහා ඇමරිකානු වෙළඳ පල විවෘත කර ගැනීම සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගිවිසුම් වලට එකඟ වෙමිනි.

හොන්ඩුරාස් රාජ්‍යය අර්ධ වශයෙන් කාර්මිකකරණය වී ඇති රටක් වන අතර එරට ආදායමෙන් විශාල කොටසක් ලබා ගන්නේ අමුද්‍රව්‍ය අපනයනයෙන්, විශේෂයෙන් මිනිරන් පතල් හා කෘෂිකාර්මික අංශවලින් (උක් සහ පාම් තෙල් වැනි) වේ. වසර 2000 සිට ජාතික හා අන්තර්ජාතික ඇමරිකානු ආයෝජකයින් විසින් ඛනිජ සම්පත් කැණීම් හේතුවෙන් පාරිසරික විනාශය, දේශීය ආදී වාසී ප්‍රජාවන් අවතැන් කිරීම් හා පලවා හැරීම් ද දිගින් දිගටම සිදු වේ. කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 22%ක් වේ.

කෝපි ප්‍රධාන අපනයන වලින් එකක් වන අතර  2010 ගණන්වලදී, හොන්ඩුරාස් ලොව හොඳම කෝපි නිෂ්පාදකයින් පහළොස් දෙනා අතර හයවන ස්ථානයට සහ මධ්‍යම ඇමරිකාවේ පළමු ස්ථානයට පත්විය. 1998 වන තෙක් රට දෙවන විශාලතම කෙසෙල් අපනයනකරු ද විය. රටේ නිෂ්පාදනයෙන් ඉතා විශාල බහුතරයක් ඇමරිකානු සමාගමක් වන චිකිටා Chiquita (ex-United Fruit Company) විසින් පාලනය කරනු ලැබේ. අනෙකුත් ප්‍රධාන අපනයන සම්පත් අතර උක්, ඉරිඟු, දොඩම්, බෙල්ලන්, දුම්කොළ සහ ගවයන් ද ඇතුළත් වේ. 2009-2019 කාලය තුල පමණක් පරිසර වේදීන් 133ක් මාෆියා කණ්ඩායම් විසින් මරා දමා ඇත්තේ ආදී වාසී ජනතාවගේ බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීම නිසාවෙනි.

විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ හොන්ඩුරාස් ජනතාවගෙන් මිලියන දෙකක් පමණ ජනතාවක් එක්සත් ජනපදයේ ජීවත් වන අතර, බොහෝ දෙනෙක් නිසි ලියකියවිලි වීසා නොමැතිව ඇමරිකාව තුල ජීවත් වේ. ඔවුන්ගේ ප්‍රේෂණ හොන්ඩුරාස් හි දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් නියෝජනය කරන අතර මිලියන 11ක ජනගහනයෙන් 60%කට ප්‍රමාණයක් අන්ත දරිද්‍රතාවයෙන් යුතුව ජීවත් වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here