පෙබරවාරි 28 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ස්ථිර කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවකයෝ කියා සිටිති.
එම සේවක පිරිස පෙන්වා දෙන්නේ විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයන්ට හිමිවන වන්දි මුදල් ද කිසිඳු ගැටලුවකින් තොරව ලබාදීමට රජය කටයුතු කරන බවට දැනුවත් කළ බවයි.
මෙම මස අගදී ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමට ගත් මෙම ස්ථිර සහ සානුකම්පිත තීරණය මගින් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර සේවකයන්ගේ අනාගතය සුරක්ෂිත වන බවත්, දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවය අවසන් වන බවත් ඔවුහු පවසති.
විදුලි බල මණ්ඩලයේ සේවකයන් 2173 දෙනකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර තිබුණද ඉන් 20 දෙනකු එම ඉල්ලා අස්වීම යළි කැඳවීමට තීරණය කර තිබේ.
ඒ අනුව සේවකයන් 2,153 දෙනකුට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා අනුමැතිය හිමිවී තිබේ.
Saru News










