වැස්ස කාලෙට ඉක්මණින් සෞඛ්‍යාරක්ෂිතව රෙදි වේලගන්න පුංචි ටිප්ස්

0
14


වැස්ස කාලෙත් එක්ක අපේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ලොකුම ගැටළු වලින් එකක් තමයි හෝදපු රෙදි ටික වේලගන්නෙ කොහොමද කියන කාරණාව. 

ඔන්න ඔබේ ගෙදර සුරංගනාවියෝ, වීර චරිත එහෙමත් නැත්නම් සෙල්ලන් ගෙවල් වල රඟපාන ඒ ඒ චරිත වලට ගැළපෙන විදිහට ඇඳුම් පැළඳුම් වලින් සැරසෙන පොඩ්ඩො ඉන්නව නම් මේ තත්වෙ තවත් දරුණු වෙනවනෙ නේද?

ඔන්න එහෙනම් වැස්ස කාලෙට රෙදි වලට හානියෙක් නොවෙන විදිහට වගේම සෞඛ්‍යාරක්ෂිතව රෙදි වේලගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපියෙන් අපි සූදානම් වෙන්නෙ එහෙනම් බලමු ඒ කොහොමද කියල.

වැස්ස කාලෙට වෙනද පුරුදු විදිහට ඔබට තියෙන හැම ඇඳුමක්ම එකවර සෝදන්න යන එක නම් නුවණට හුරු වැඩක් නෙමෙයි.

මුලින්ම, ඔබ එදිනෙදා පාවිච්චි කරල ඉවත් කරන යට ඇඳුම් ඒ ඒ වෙලාවට සෝදන්න ඔබ සැළකිලිමත් වෙන්න ඕන. 

යට ඇඳුම් වලට ඉක්මණින් සහ වැඩිපුර දහඩිය උරා ගන්න නිසා නොසෝදා වැඩි කාලයක් තැබුවොත් ඇඳුම් පුස් කෑම, දිරාපත් වීම සහ අධික දුර්ගන්ධයක් ඇතිවීම සිදුවෙනවා. 

එය ඇඳුම් වල දිගු කාලීන පැවැත්මට හානිකරනව වගේම ඔබේ ශරීර සෞඛ්‍යයටත් නුසුදුසු බව ඔබට ඔබට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. 

ඒ නිසා මුලින්ම යට ඇඳුම් ඒ ඒ වෙලාවට සෝදන්නත් ඊළඟට ඔබට නිතරම අඳින්න සිද්ධ වෙන කාර්‍යාලීය ඇඳුම් වගේ අත්‍යාවශ්‍ය ඇඳුම් සෝදන්නත් අමතක කරන්න එපා. 

වැස්ස කාලෙට හැකිතරම් සැහැල්ලු ඇඳුම් තෝරාගන්න පුළුවන් නම් ඒ ඇඳුම් වේලගන්න වැඩි මහන්සියක් දරන්න ඔබට සිද්ධවෙන්නෙ නෑ.

ඒ කොහොම වුනත් ඔබ අත්‍යාවශ්‍යයි කියල තෝරගත්ත ඇඳුම් වලිනුත් සැහැල්ලු ඇඳුම් මුලින්ම සෝදන්න ඔබට පුළුවන්. සැහැල්ලු ඇඳුම් වේලෙන්න ගන්න අඩු කාලයක් නිසා ඇඳුම් ඉක්මණින් වේලගන්න පුළුවන් වගේම ඇඳුම් වේලන්න තියෙන ඉඩ ඉතුරු කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. 

ඔබ රෙදි සෝදන යන්ත්‍රයක ඇඳුම් සේදීම කරනව නම්, අනවශ්‍ය බරක් රෙදි සෝදන යන්ත්‍රය මත යොදන්න එපා. ඇඳුම් අඩුවෙන් තියෙන තරමට රෙදි වලට වෙන හානිය අවම වෙනව වගේම ඇඳුම් වල වතුර ඉවත්වීමත් හොඳින් සිද්ධ වෙනවා. 

රෙදි සෝදන යන්ත්‍රයකින් රෙදි සෝදනව නම්, රෙදි සෝදන යන්ත්‍රයේ වතුර ඉවත් කිරීමේ චක්‍රය (spin cycle) දෙවතාවක් පමණ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වඩාත් හොඳින් රෙදිවල වතුර ඉවත්වීම සිදුවෙනවා. 

ඔබ අතින් රෙදි හෝදනව නම්, හැකිතරම් වතුර මිරිකා ඉවත්කර රෙදි වේලෙන්න වනාගන්න කලින් වතුර ඉවත්වෙන්න පහළට එල්ලා තැබීම කරන්න පුළුවන්. මේ වෙලාවෙදි වතුර බේරෙන්න පුළුවන් නිසා බිමට වතුර වැටුනට ගැටළුවක් නැති තැනක එල්ලා ගන්න ඔබට පුළුවන්. 

ඇඳුම් වේලගන්න ඔබට ක්‍රම කීපයක් භාවිතා කරන්න පුළුවන්.

මේ සඳහා වර්ෂාව පවතින අවස්ථාවල පින්න ඇතුළු නොවෙන, ඉඩකඩ පවතින බඩු අඩුවෙන් අසුරා ඇති කාමරයක් තෝරගන්න ඔබට පුළුවන්. 

එකමත එක නොසිටින විදිහට වතුර සහ ඇඳුම් වල රැළි ඉවත්වෙන විදිහට ඇඳුම් හොඳින් ගසා දිගහැර වනාගන්න පුළුවන්.

මේ සඳහා රෙදි වැල්, ඇඳුම් වැටවල් සහ ඇඳුම් එල්ලන කොකු භාවිතා කරන්න හැකියාව තියෙනවා. 

පින්නට රෙදි හසු නොවෙන විදිහට රෙදි වනා ඇති ස්ථානයට ආලෝකය ලැබෙන්න සළස්වනව නම් එයත් ඉතාම වැදගත්. ජනෙල් වලින් පින්න ඇතුළු වෙනව නම්, වර්ෂාව නොපවතින වෙලාවට රෙදි වනා ඇති කාමරයේ ජනෙල් විවෘත කරන්නත් පුළුවන්. 

ඒ කොහොම වුනත් වැඩිපුර වාතාශ්‍රයක් පවතින ආලෝකය ඇති කාමරයක් මේ සඳහා තෝරා ගැනීම වඩා උචිතයි. 

ටික ටික වතුර ඉවත්වී රෙදි වේලෙන්න පටන් ගත්තම ඒ ඒ රෙදි වනල තියෙන ස්ථානය වෙනස් කරන්න ඔබට පුළුවන්.

හොඳින් ආලෝකය වැටී ඇති ස්ථානයේ තිබෙන රෙදි අනික් තැන්වලට වඩා ඉක්මණින් වේලෙන නිසා ඒ රෙදි ටික දිනකින් ඒ ස්ථානයෙන් ඉවත් කර ඇතුළත ස්ථානයක වනාගන්න ඔබට පුළුවන්. වතුර වැඩි ප්‍රමාණයක් ඉවත් වී ඇති නිසා ඇතුළත ස්ථානයකදී වුනත් ඉක්මණින් ඒ රෙදි වේලීමට ගත වෙන්නෙ ඉතාම කෙටි කාලයක් පමණයි. 

ආලෝකය පවතින ස්ථානයේ දැන් වෙනත් රෙදි කීපයක් වනාගෙන ඒ රෙදි සම්පූර්ණයෙන් වේලෙන තුරු එම ස්ථානයේ නොතබා මේ විදිහට පියවරෙන් පියවර තැන් මාරු කර ගැනීමෙන් රෙදි වැඩි ප්‍රමාණයක් ඉක්මණින් වේලාගන්න හැකියාව ලැබෙනවා. 

ඔබේ නිවසේ කොණ්ඩය වේලන උපකරණයක් (hair dryer), වායු සමීකරණ යන්ත්‍රයක් (air conditioner) හෝ විදුලි පංකාවක් (fan) ඇත්නම් ඔබට හදිසියේ අවශ්‍ය වෙන රෙදි වේලාගන්න මේ උපකරණ භාවිතා කරන්නත් පුළුවන්. 

තුවායක් ආධාරයෙන් ඉක්මණින් රෙදි වේලගන්න ක්‍රමයක් ඔබ දන්නවද?

මේ සඳහා ක්‍රම දෙකක් තියෙනව.

පළවෙනි ක්‍රමයේදී දිග හැරගත් තුවාය මත ඔබේ ඇඳුම දිගහැර අතුරාගෙන ඇඳුමත් සමඟම තුවාය රෝල් කරගන්න ඔබට පුළුවන්.

තුවායට වතුර වැඩි ප්‍රමාණයක් ඉක්මණින් උරාගන්න නිසා රෙදි වේලීම වේගවත් කරගන්න පුළුවන්.

දෙවෙනි ක්‍රමයේදීත් ඔබ මුලින්ම දිග හැරගත් තුවාය මත ඔබේ ඇඳුම දිගහැර අතුරා ඊට උඩින් ඝනකම අඩු තුවායක් හෝ කපු රෙදි කැබැල්ලක් අතුරා ඒ මත ස්ත්‍රක්කය ගෙනියමින් ඇඳුම මැදගන්න ඔබට පුළුවන්. උඩින් ඇති රෙදි කැබැල්ල නිසා ඇඳුමේ වර්ණයට හෝ රෙද්දට හානියක් වෙන්නෙත් නැහැ. 

ඉතිං, මේ ක්‍රම භාවිතා කරොත් වර්ෂාව කාලයේදී වුනත් පහසුවෙන් රෙදි වේලගන්න ඔබට වෙනදට වඩා ලේසිවේවි. 

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here