වතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රුපියල් 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීය.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ වතු කම්කරුවන්ට වැටුප් වැඩිකිරීම සඳහා කාරක සභාවේ විරුද්ධත්වයක් නොමැති බවත් මෙම දීමනාව ගෙවීමේ ක්‍රමවේදයට අදාළ නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්ය.
මේ අනුව මෙම මුදල් ගෙවීම ගැසට් කිරීමකින් තොරව පෞද්ගලික වතු සමාගම් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව සිදු වන බවත් මෙය ඕනෑම අවස්ථාවක අවසන් කිරීමට හැකි බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි.
එසේම මෙම රු. 200 මුදල සේවක අර්සාථ සාධක අරමුදලට දායකත්වයක් නොලැබෙන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දෙනු ලැබීය.
මෙම අවබෝධතා ගිවිසුම වසර 3ක කාලයක් සඳහා පෞද්ගලික වතු සමාගම් සමග ඇතිකරගෙන තිබෙන බවත් එම කාලසීමාව අවසන් විමෙන් පසු මෙම ගෙවීම් ඉදිරියට කරගෙන යෑමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් පැමිණි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.
මේ අනුව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය මුදල් නිසි මූල්‍ය විනයකින් තොරව පෞද්ගලික ආයතනවල වැටුප් ගෙවීමට යෙදවීම නුසුදුසු බවයි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් 2026 අයවැයෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බැවින් අදාළ ගෙවීම සිදු කරනුු ලබන බවය.
අනුමත අයවැය ඇස්තමේන්තුවලට අනුව, මෙම ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පෙන්වා දී ඇත්තේ ‘සංවර්ධන සහනාධාරයක්’ ලෙසිනි. සාමාන්‍යයෙන් සංවර්ධන සහනාධාර මගින් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහාය වීම අපේක්ෂා කරන බැවින්, මෙම ගෙවීම ‘නිෂ්පාදන දිරිගැන්වීමක්’ ලෙස හැඳින්වීම වඩාත් උචිත බව නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.
කෙසේ වුවද, ප්‍රායෝගිකව ජනවාරි මාසය සඳහා මෙතෙක් සිදු කර ඇති ගෙවීම්වල හෝ අදාළ අවබෝධතා ගිවිසුම්වල එවැනි අවශ්‍යතාවයක් පිළිබඳව සඳහන් නොවන බව නිරීක්ෂණය විය. එසේම, දිනකට රුපියල් 200 බැගින් වන දීමනාව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ ගණනය කිරීමෙන් බැහැර කිරීම අදාළ නීතිවලට අනුකූලද යන්න පිළිබඳව ද කාරක සභාව ප්‍රශ්න කළේය.
අවබෝධතා ගිවිසුම් සහ මෙම විවිධ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තේ දැයි විමසූ විට, නිලධාරීන් ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා නොගත් බවය.
මේ අනුව මෙවැනි ගැටලු සහගත තැන් නිවැරදි විය යුතු බවත් මෙම ගෙවීම සම්බන්ධයෙන් කිසියම් හෝ නීත්‍යානුකූල පසුබිමක් සකස් විය යුතු බවත් කාරක සභාව පෙන්වා දුන්නේය.
Saru News
















