ගෝලීය සෞඛ්‍යයට බරපතල ප්‍රතිවිපාක අත්පත් කර දෙමින් ජනවාරි 22 වන බ්‍රහස්පතින්දා එක්සත් ජනපදය නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත් විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ භාරගත් වහාම මේ සඳහා විධායක නියෝගයක් අත්සන් කර තිබුණු අතර නීතිමය දැනුම්දීමකින් වසරකට පසු, එය දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සහයෝගීතාවයට එල්ල කල තවත් පහරක් ලෙස සලකන ලෝක සෞඛ්‍ය සංවිධාන ආරංචි මාර්ග පවසන්නේ එම නිසා තම සංවිධානයට බරපතල මූල්‍ය ගැටලුවලට අනාගතයේදී මුහුණ දිමට් සිදුවන බවයි. ඇමරිකාවේ මෙම ඉවත් වීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 260ක් අහිමි වීමට නියමිතව ඇත.
ඒකාබද්ධ ප්‍රකාශයකින් ඇමරිකාවේ සෞඛ්‍ය ලේකම් රොබර්ට් කෙනඩි සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, කියා සිටින්නේ “කොවිඩ්-19 වසංගතය අතරතුර අසාර්ථකත්වයන්” ගණනාවක් සහ “එක්සත් ජනපදයේ අවශ්‍යතාවලට එරෙහිව නැවත නැවතත්” ක්‍රියා කළ බවට WHO සංවිධානයට චෝදනා කරන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාව සිදු කල සෑම සහයක්ම, මැදිහත් වීමක්ම නොසලකා හැර චෝදනාවට ලක් කර ඇති බවත් එම සංවිධානයේ ස්වාධීනත්වය ගැටළු සහගත බව ඇමරිකාව කියා සිටි.
එහෙත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus ජනවාරි 24 වන සෙනසුරාදා ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ ආයතනයෙන් ඉවත් වන බව නිවේදනය කිරීම සඳහා වොෂින්ටනය ලබා දුන් හේතු “අසත්‍ය” බවත්, මෙම ඉවත්වීම එක්සත් ජනපදය සහ ලෝකය “අඩු ආරක්ෂිත” අවධියක් බවට පත් කරන බවට නැවත අවධාරණය කරමිනි. එසේම ඇමරිකාව එල්ල කරන චෝදනා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ ඒවා ප්‍රතිවිරුද්ධ හා කිසිදු පදනමක් නැති අසත්‍ය චෝදනා බවත්ය.
“අපි සෑම සාමාජික රාජ්‍යයක් සමඟම ගණුදෙනු කරන ආකාරයටම, WHO සංවිධානය සැමවිටම එක්සත් ජනපදය සමඟ හොඳ විශ්වාසයකින් කටයුතු කිරීමට උත්සාහ කර ඇත.” යයි ඔහු යලි යලිත් පවසයි.
රොබට් කෙනඩි ජූනියර් සිකුරාදා X හි පළ කරන ලද වීඩියෝවකින් යලිත් චෝදනා කර සිටියේ , ඇමරිකාවේ “හෙද නිවාසවල තනිව මිය ගිය ඇමරිකානුවන් සම්බන්ධයෙන් සංවිධානය වගකීම් භාර ගත යුතු බවත්, වගකීම් විරහිත ලෙස ලබා දෙන ලද නියෝග මගින් විනාශ වූ කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා මුහුණු ආවරණ පැළඳීමට සහ එන්නත් ලබා ගැනීමට බල කිරීමේ වගකීමත් WHO පිළිගත යුතු බවත්ය. මේ නිසා ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ බවටද කියා සිටි.
සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් Adhanom Ghebreyesus මාධ්‍ය වෙත පවසා සිටියේ,
“වසංගතය පුරාම, WHO ඉක්මනින් ක්‍රියා කලා. තමන්ට ලැබුණු සියලු දත්ත අඩංගු තොරතුරු වේගවත් හා විනිවිද ලෙස පෙනෙන ආකාරයකින් ලෝකය සමඟ බෙදා ගත්තා. එසේම ලබා ගත හැකි හොඳම දත්ත මත පදනම්ව සාමාජික රටවලට උපදෙස් දුන්නා. එසේම WHO විසින් මුහුණු ආවරණ, එන්නත් සහ භෞතික දුරස්ථභාවය භාවිතා කිරීම නිර්දේශ කළ නමුත්, කිසිදු අවස්ථාවක මුහුණු ආවරණ පැළඳීම, එන්නත් කිරීම හෝ රටවල් වසා දැමීම් නිර්දේශ කරනු ලැබුවේ නෑ. අවාසනාවකට මෙන්, එක්සත් ජනපදය WHO වෙතින් ඉවත් වීමට ගත් තීරණයට හේතු දක්වා ඇති හේතු සම්පුර්ණයෙන් අසත්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටම වොෂින්ටනය සමඟ සහ සියලුම සාමාජික රටවල් සමඟ ඔවුන්ගේ ස්වෛරීභාවයට පූර්ණ ගෞරවයෙන් සංවාදයක නිරත වී ඇති” බව යලි අවධාරණය කරමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙතෙක් විශාලතම පරිත්‍යාගශීලියා වුයේ එක්සත් ජනපදය ලෙස සලකන අතර, එහි ප්‍රතිවිපාක සෞඛ්‍ය අතින් වඩාත් දුර්වලව පවතින අප්‍රිකානු මහාද්වීපයේ සෞඛ්‍යයට දරුණු ප්‍රති විපාක ඇති වනු ඇති බවට WHO හි අප්‍රිකානු ශාඛාව ජනවාරි 23 වන සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවීය. 2022 සහ 2023 දී පමණක්, එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඩොලර් බිලියන 1.28 කට වඩා ලබා දී තිබිණි.
“අවාසනාවකට මෙන්, මෙම අරමුදල් අහිමි වීම රටවලට සපයනු ලබන සෞඛ්‍ය සේවාවන්හි විශාල බාධාවන්ට මුහුණ දීමට සිදු වන අතර මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඵලදායී බව දන්නා මැදිහත්වීම් ද අනතුරේ හෙළනු ඇත,” යයි මේ අතර WHO අප්‍රිකාවේ වැඩසටහන් කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය අබ්දුරාහ්මනේ ඩයලෝ ද අවධාරණය කර සිටි.
එබැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයට පටි තද කර ගැනීමට සහ අන් අයගේ වියදමින් ඇතැම් වැඩසටහන් වලට ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය වනු ඇත. අප්‍රිකාවේ, එක්සත් ජනපදය ප්‍රධාන ව්‍යාපෘති ලෙස සැලකෙන HIV සහ AIDS, ක්ෂය රෝගය, පෝලියෝ, මැලේරියාව සහ නොසලකා හරින ලද සියලුම නිවර්තන කලාපයේ බෝවන රෝගවලට එරෙහි සටනට සම්බන්ධ වුනා,” යයි වෛද්‍ය අබ්දුරාහ්මනේ ඩයලෝ තව දුරටත් පැහැදිලි කර සිටි. HIV සම්බන්ධයෙන්, අප්‍රිකාවේ සහ ලොව පුරා HIV/AIDS වලට එරෙහි සටනට විශාලතම දායකත්වය සපයනු ලැබුවේ එක්සත් ජනපදයයි.
ඇමරිකාවේ මෙම ඉවත්වීම ක්ෂණික මූල්‍ය අර්බුදයක් සංවිධානයට ඇතිවීමට නියමිතය. ඒ අනුව ඇමරිකානු පරිපාලනය 2024 සහ 2025 සඳහා ඩොලර් මිලියන 260 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නොගෙවූ ගෙවීම් ලබා දීම ද ප්‍රතික්ෂේප කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇති විශාල බලපෑම වනුයේ වොෂින්ටනය එ.ජා ඒජන්සියේ මුළු අයවැයෙන් ආසන්න වශයෙන් 18% ක් සපයා ඇති නිසා වේ. එක්සත් ජනපදය නොමැතිව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයින් 2026 පෙබරවාරි මස මුලදී රැස්වීමට නියමිතය. ඇති වී තිබෙන මුල්‍ය අර්බුධය හේතුවෙන් මේ වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාල කාර්ය මණ්ඩලයක් සේවයෙන් පහ කිරීමට සිදුවන බව ඔවුන් දැනටමත් නිවේදනය කර ඇත. ලොව පුරා තනතුරු 2,300 කට ආසන්න සංඛ්‍යාවක් මේ අනුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය. එසේම ඇමරිකාවේ හිස්තැන පිරවීම සඳහා පුද්ගලයින්, ආයතන, රටවල් පවා සොයා ගැනීමට ද තීරණය කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර සංවිධාන 66 කින් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට පසුගිය දා නියෝග කර සිටියේය. ජනවාරි 8 වන දින, ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කළේ එක්සත් ජාතීන්ගේ ආයතන 31 කින් සහ තවත් ජාත්‍යන්තර සංවිධාන 35 කින් එක්සත් ජනපදය ඉවත් වන බවයි. මෙම ආයතන තම “ජාතික අවශ්‍යතාවලට එරෙහිව ක්‍රියා කරන” සහ ඇමරිකානු ස්වෛරීභාවයට හානි කරන “දෘෂ්ටිවාදී න්‍යාය පත්‍ර” ප්‍රවර්ධනය කරන බවට ට්‍රම්ප් පරිපාලනය චෝදනා කර සිටි.
දැනටමත් මානව හිමිකම් කවුන්සිලය, යුනෙස්කෝව සහ UNRWA මේ අනුව ඉලක්ක කර ඇති අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමෙන් ද ඇමරිකාව ඉවත් වීමේ ඔහුගේ අභිප්‍රාය පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් යලි තහවුරු කළේය.
2
Saru News










