කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා ඝාතනය සිදු වී වසර 65 කට පසුව බෙල්ජියම් අධිකරණය හිටපු ලොව ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන ETIENNE DAVIGNONට එරෙහිව “යුද අපරාධවලට සහභාගී වීම” සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස මාර්තු 18 වනදා නියෝග කරනු ලැබ ඇත. දැනට 93 හැවිරිදි වියේ පසුවන මෙම හිටපු ඉහළ පෙළේ බෙල්ජියම් රාජ්‍ය නිලධාරියා අධිකරණය විසින් ගොනු කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව දින 15ක් ඇතුලත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද බෙල්ජියමේ නීතිය තුල විත්තිකරුට හැකියාව ඇත.
නමුත් බෙල්ජියමේ මාධ්‍ය වාර්තා කරනුයේ ඔහු ගේ අභියාචන ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
වසර 65 කට පසුව ලුමුම්බා ඝාතණය සිදු කල චුදිතයින්ට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර ලුමුම්බා පවුලේ නීතිඥයෙකු මාධ්‍ය වෙත පවසන්නේ, මෙම නඩු විභාගය “2027 ජනවාරි මාසයේදී පැවැත්විය හැකි බවයි. 1960 දෙසැම්බර් මාසයේදී කොංගෝ අගනුවර වූ ලියෝපෝල්ඩ්විල් (දැන් කිංෂාසා) හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු බෙදුම්වාදී කටන්ගා ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීමට ETIENNE DAVIGNON නියෝග දී ඇති බවට තහවුරු වී ඇති අතර සිදුවීම් වලින් වසර හැටපහකට පසු, බෙල්ජියම් අධිකරණය මාර්තු 18 වන අඟහරුවාදා නියෝග කළේ “යුද අපරාධවලට සහභාගී වීම” සම්බන්ධයෙන් ඔහුව සැක කරනු ලබන බවයි.
2011 දී පැමිණිල්ල ගොනු කළ දා සිට ඔවුන්ගේ සටනට සහාය දුන් ලුමුම්බා පවුල සහ නීතිඥයින් මෙය “ඓතිහාසික තීරණයක්” ලෙස ප්‍රශංසා කළහ. 1960 ජුනි මාසයේදී නිදහස ලැබූ කොංගෝව සහ එහි යටත් විජිත බලවතා වූ බෙල්ජියම අතර සම්බන්ධතාවයේ අඳුරුතම පරිච්ඡේදවලින් එකක් වන මෙම ඝාතනයට වගකීම හා වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට තීරණය කිරීම සඳහා වූ අපරාධ නඩු විභාගයක් කිසිදා පවත්වා නොමැත.
බෙල්ජියමෙන් නිදහස ලැබූ ස්වාධීන කොංගෝවේ (වර්තමාන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, DRC) පළමු රජයේ ප්‍රධානියා වූ පැට්‍රිස් ලුමුම්බා 1960 සැප්තැම්බර් මැද භාගයේදී බෙල්ජියම හා ඇමරිකානු කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර ඔහුගේ රටේ සිරගත කරන ලදී. 1961 ජනවාරි 17 වන දින බෙල්ජියමේ කටන්ගා බෙදුම්වාදීන් විසින් බෙල්ජියම් කුලී හේවායන්ගේ ද සහාය ඇතිව ලුමුම්බාව ඝාතනය කරන ලදී. මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 35 කි. ඔහුගේ සිරුර ඇසිඩ් වල දිය කර අතුරුදහන් කරනු ලැබූ බව පසුව වර්තා විණි.
ලුමුම්බා පවුලේ දරුවන් විසින් බ්‍රසල්ස් හි ගොනු කරන ලද පැමිණිල්ලේ බෙල්ජියම් නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ සාමාජිකයින් අතරින් මෙම අපරාධයට සම්බන්ධ වූ බවට චෝදනා කළ හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් වන අතර චූදිතයන්ගෙන් ජීවතුන් අතර සිටින එකම තැනැත්තා ද වනුයේ ETIENNE DAVIGNON ය. කොංගෝ නායකයා බලයෙන් පහ කළ කුමන්ත්‍රණයෙන් පසු, පැට්‍රිස් ලුමුම්බා බෙදුම්වාදී කටන්ගා වෙත මාරු කිරීමේදී ඔහු ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ බවට සැක කෙරේ. පැට්‍රිස් ලුමුම්බා බලයට පත් වූ පසු ආර්ථික වශයෙන් ඉතා පොහොසත් කටන්ගාව මධ්‍යම රජයෙන් නිදහස ඉල්ලා වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කලේ බෙල්ජියමේ සහය ඇතිව වේ.
කෙසේවෙතත් 93 හැවිරිදි හිටපු රාජ්‍ය තාන්ත්‍රික සහ ඉහළ පෙළේ බෙල්ජියම් නිලධාරියා ETIENNE DAVIGNON ඔහුට එරෙහි චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ යුරෝපීය කොමසාරිස්වරයෙකු වන ETIENNE DAVIGNON කොංගෝවේ නිදහස ලබන විට, ව්‍යාපාරිකයෙකු හා රාජතාන්ත්‍රිකයෙකු ලෙස දිගු වෘත්තීය ජීවිතයක් ගත කරමින් සිටියේය.
පැමිණිල්ලේ නීතිඥ ක්‍රිස්ටෝෆ් මාර්චන්ඩ් විශ්වාස කරන්නේ අගමැති ලුමුම්බා කටන්ගා වෙත මාරු කිරීම සම්බන්ධයෙන් බෙල්ජියම් නිලධාරීන් අතර සාකච්ඡාවල පෙරමුණ ගෙන සිටි බවට සැක කෙරෙන ETIENNE DAVIGNON යනු බෙල්ජියම විසින් මෙහෙයවන ලද “රාජ්‍ය අනුග්‍රහය ලත් දුෂ්ට අපරාධ ව්‍යාපාරයක” ප්‍රධාන පුරුකක්” බවයි.
බෙල්ජියමේ අධිකරණය විසින් ගනු ලැබූ මෙම එයතිහාසික තීරණය මත ලබන වසරේ ආරම්හ වන නඩු විභාගයේදී “අප්‍රිකානු නිදහස් නායකයෙකු ඝාතනය කිරීමේදී හිටපු යටත් විජිත බලවතාගේ නියෝජිතයින්ට එරෙහිව එල්ල වන චෝදනා අපරාධ අධිකරණයක් විසින් විමර්ශනය කරන ලද පළමු අවස්ථාව” මෙය වනු ඇත” යයි ” ලුමුම්බාගේ දරුවන් සහ මුණුබුරන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මාධ්‍ය වෙත අවධාරණය කළහ.
චුදිතයාට එරෙහිව බෙල්ජියමේ අධිකරණය චෝදනා තුනක් යටතේ නඩු පැවරීමට තීරණය කර ඇත. ඒ අනුව පැට්‍රිස් ලුමුම්බාට සාධාරණ නඩු විභාගයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම, වධහිංසා පැමිණවීම, අමානුෂික හෝ අවමන් සහගත ලෙස සැලකීම සහ සන්නද්ධ ගැටුමක් අතරතුර ආරක්ෂා කල යුතු පුද්ගලයෙකු නීති විරෝධී ලෙස මාරු කිරීම හා මරා දැමීම යන යුද අපරාධ තුනක් සම්බන්ධයෙන් ETIENNE DAVIGNONට එරෙහි නඩු විභාගය ලබන ජනවාරි මාසයේදී ආරම්භ වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැට්‍රිස් ලුමුම්බා ගේ දියණිය වන ජුලියානා “අපි මේ ප්‍රතිඵලයට ළඟා වීම ගැන අපට ඇත්තේ සියුම් සතුටක් පමණයි. මා එසේ පැවසුවත්, අපි සොයන්නේ පළිගැනීම නොවේ. මන්ද කිසිදු පළිගැනීමකින් අපේ පියා නැවත අප වෙත ගෙන ඒමට නොහැකි වනු ඇත. නමුත් පවුලක් ලෙස සහ කොංගෝ පුරවැසියන් ලෙස අප සියළු දෙනාට අවශ්‍ය සත්‍යය දැන ගැනීමයි. මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව යුක්තිය කවදා හෝ ඉටු වන බවත්, එහි වගකීම තමන් වෙත කවදා හෝ පැවරෙන බවටත් හිටපු යටත් විජිතවාදියාට පිළිගැනීමට සිදු වීම වැදගත් වන අතර ඔවුන් විසින් ගනු ලැබූ මෙම එයතිහාසික තීන්දුව බෙල්ජියමට හා එහි ජනතාවටද මානව ඉතිහාසයේ ගෞරවය හිමි වනු ඇත” යයි මාධ්‍ය වෙත පවසා සිටියාය.
3
Saru News
















