ලංකාවේ අපිට තේ වෙනුවට බොන්න පුළුවන් ඖෂධීය පාන වර්ග – 2 කොටස

0
15


කිරිපිටි ප්‍රශ්නෙකුත් නැගිලා තියන මේ කාලේ ඇයි තවදුරටත් අපි අපේ ඇඟට ගුණයක් නැති දේවල් දාන්නෙ කියලා නිකමට හිතලා බැලුවද? මේ දේශීය පාන වර්ග වලින් ලැබෙන ගුණ මේ පිටිකිරි වලින් ගන්න කොහෙත්ම බෑ. මීට කලිනුත් අපි මේ වගේම පාන වර්ග ටිකක් අරන් ආව මතක ඇති. ඉතින් අද අපි හිතුවා ඔයාලට ලේසියෙන්ම හදලා බොන්න පුළුවන් තවත් පාන වර්ග ටිකක් ගේන්න. මේවා හරිම ගුණයි. දවසකට මේ වර්ග වලින් එක ගාණෙ බොනව නම් සෑහෙන්න ගුණයි. විවිධ ලෙඩ රෝග තියෙන අයත් වෛද්‍ය නිර්දේශය ඇතුව බිව්වට කමක් නෑ. 

 

1. අලිගැටපේර තේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අලිගැටපේර ඇට 1
  2. ලුණු ස්වල්පයක් 
  3. දෙහි යුෂ ස්වල්පයක් 
  4. ගම්මිරිස් ඇට කිහිපයක් 

 

  • මුලින්ම අලිගැටපේර ඇට ග්‍රේට් කරගන්න. මේ ග්‍රේට් කරගත් ටික මද පවනෙ පැය 2ක් වේලෙන්න තියලා කුඩු කරගන්න. 
  • ග්ලාස් එකකට මේකෙන් මේස හැඳි 1ක් කෝප්පෙකට දාලා නටන උණුවතුර හා ගම්මිරිස් ඇට ටිකත් දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියන්න. 
  • රස අනුව ලුණු හා දෙහියුෂ දාලා පෙරලා බොන්න. 

 

2. නිල්කටරොළු තේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නිල්කටරොළු මල් 5
  2. උණුවතුර කෝප්ප 1
  3. දෙහි යුෂ අවශ්‍ය නම්

 

  • නටන උණුවතුරට නිල්කටරොළු මල් 5ක් දාලා විනාඩි 10ක් තැම්බෙන්න තියන්න. අවශ්‍ය අය සීනි ටිකක් දාගන්න. 
  • අවශ්‍ය නම් දෙහි යුෂ ටිකක් දාගන්න. දෙහි යුෂ දානකොට මේක දම්පාට වෙනවා. 

 

3. උළුහාල් තේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. උළුහාල් තේ හැඳි 2
  2. මී පැණි තේ හැඳි 1

 

  • උළුහාල් වලට වතුර කෝප්ප 2ක් දාලා විනාඩි 10ක් හොඳට තම්බගන්න.  
  • මේක පෙරලා නිවෙන්න තියලා මීපැණි දාලා බොන්න. සෑහෙන්න ගුණ පානයක්. බර අඩුවෙන්න ගොඩක් ප්‍රයෝජනවත්. 

 

4. මසාලා තේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

මසාලා පව්ඩර් එකට

 

  1. කුරුඳු පොතු කෑලි කිහිපයක් 
  2. ගම්මිරිස් ඇට 15 පමණ
  3. කරදමුංගු ඇට කිහිපයක් 
  4. සාදික්කා කුඩු තේ හැඳි 1/2
  5. වියළි ඉඟුරු මේස හැඳි1
  6. කරාබු නැටි 5

 

තේ එකට 

 

  1. තේකොළ තේ හැඳි 2
  2. කිරි කෝප්ප 1
  3. සීනි තේ හැඳි 1

 

  • මසාලා පව්ඩර් එකට අදාළ සියල්ලම කබලෙ විනාඩි 5ක් විතර බැදගන්න. මේක පව්ඩර් එකක් වෙනකල් ග්‍රයින්ඩ් කරගන්න. 
  • වතුර කෝප්පයක් ලිපේ තියලා සාදාගත් මසාලා පව්ඩර් තේ හැඳි 1ක් දාගන්න. මේකට තේකොළ තේ හැඳි 2ක් එකතු කරන්න. හොඳට කලවම් කරලා තැම්බෙන්න දෙන්න. 
  • වතුර නටනකොට කිරි ටික දාගන්න. තව ටිකක් හැඳි ගාලා ආයෙ නටනකොට ගින්දර අඩු කරලා සීනි ටික දාගන්න. කලවම් කරලා තවත් විනාඩි 5ක් විතර රත්වෙන්න තියලා ලිප නිවන්න. පෙරලා උණුවෙන්ම බොන්න ගන්න. 
  • කිරි වලට අකමැති අයට කිරි නොදා ප්ලේන් මසාලා ටී එකක් හදාගන්නත් පුළුවන්.

 

5. මුරුංගා කොළ තේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුරුංගා ඉති කිහිපයක් 
  2. උණුවතුර 

 

  • මුරුංගා කොළ සෝදලා මද පවනෙ දවස් 4-5ක් වේලගන්න. සර සර සද්දේ වගේ එන්න වේළුනාම මේ ටික පව්ඩර් වෙන්න ග්‍රයින්ඩ් කරගන්න. 
  • දැන් මේ මුරුංගා කුඩු තේ හැඳි 2ක් දාලා උණුවතුර කෝප්ප 2ක් දාගන්න. විනාඩි 5ක් විතර තැම්බෙන්න තියලා පෙරලා බොන්න. 

 

6. මහදුරු තේ 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මහදුරු තේ හැඳි 2
  2. මී පැණි ස්වල්පයක් 
  3. වතුර කෝප්ප 6

 

  • මහදුරු ටික හොඳට සෝදලා භාජනයකට දාගන්න. දැන් මේක ලිපේ තියලා ඒ මේ අත හරවමින් බැදගන්න. 
  • ටිකකින් වතුර ටික දාලා තැම්බෙන්න තියන්න. වතුර හොඳට නටලා ටිකක් හිඳෙනකොට ලිප ඕෆ් කරගන්න. දැන් මේක පෙරලා මීපැණි දාලා බොන්න. 

 

7. කුරුඳු තේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරුඳු පොතු සම්පූර්ණ කූරක් 
  2. අමු ඉඟුරු පෙත්ත
  3. තේකොළ තේ හැඳි 2
  4. සීනි රස අනුව

 

  • වතුර කෝප්පෙකට ඉඟුරු පෙත්ත හා කුරුඳු කූර දාල ලිපේ තියලා විනාඩි 2ක් විතර උතුරවා ගන්න.
  • ලිපෙන් බාල ඒකට තේ කොළ එකතු කරල විනාඩි 2ක් තැම්බෙන්න අරින්න.
  • පෙරාගෙන රස අනුව සීනි එක් කරල උණුවෙන්ම බොන්න ගන්න. කොලෙස්ටරෝල් තියෙන අයට ගොඩක් ගුණ බීමක්. හැබැයි කලිනුත් කිව්ව වගේ වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න.

 

 

The post ලංකාවේ අපිට තේ වෙනුවට බොන්න පුළුවන් ඖෂධීය පාන වර්ග – 2 කොටස appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here