රෝගීන් 2ක් මියගිය ෆාමා ඇසෝසියේට්ස් ගෙන්වූ  IVIG කුප්පි විනාශ කරන්නත් රජයට මිලියන 40ක් ගිහින්

0
4

මීට වසර දෙකකට පෙර සංකූලතා මත රෝගීන් දෙදෙනක් මියගිය පසු රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය මගින් රෝහල්වලින් සම්පූර්ණයෙන් ඉවත් කළ හියුමන් ඉමියොනොග්ලොබියුලින් (IVIG) ඖෂධ කුප්පි නවසියයක් විනාශ කිරීම නිසා රජයට රුපියල් මිලියන 40කට අධික පාඩුවක් සිදුවී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය කියයි.

මෙම ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතා මත රෝගීන් දෙදෙනෙක් මියයාමේ සිද්ධියක් මුල්කරගෙන ඖෂධ ඇගයීම් විශේෂඥ කමිටුව නිකුත් කරන ලද අංක NMRA/PA3/ADR02/2024 මගින් මෙම එන්නත් කුප්පි භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත් බව එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

කෙසේ වෙතත් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් සහ ඉන්දියාවේ විද්‍යාගාර මගින් කළ පරීක්ෂණවලින් පසු අදාළ ඖෂධය භාවිතයට ගන්නා ලෙසට රෝහල් වෙත උපදෙස් ලබාදුන් බවද පවසයි.

රෝගීන්ට ලබානොදී සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමග රෝහල්වල ශීතකරණවල තිබූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් (IVIG) එන්නත් කුප්පි නවසියයක් විනාශ කර දැමීමට රෝහල් පියවර ගත් බවද වෛද්‍ය චමල් සංජීව කියා සිටී.

ෆාමා ඇසෝසියේට්ස්  (Pharma Associates) විසින් ගෙන්වන ලද මෙම එන්නත් කුප්පි එකක් ඩොලර් 106ක් පමණ වටිනාකමින් යුත් බවත් අදාළ එන්නත් කුප්පි විනාශ කිරීම නිසා රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුවූ බවත් ඔහු කියා සිටී.

මෙම එන්නත ලබාදීමෙන් පසු රෝගීන් දෙදෙනෙක් මියගිය පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ එන්නත සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් නොකර සිටියේ නම් මේ පාඩුව සිදුනොවන බවද ඔහු සඳහන් කරයි.

මෙම තීරණය ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඊට වගවිය යුතු බවත් රජයට සිදුවූ පාඩුව සභාපතිවරයාගෙන් සහ ඖෂධ අවදානම් කමිටුවේ සාමාජිකයන්ගෙන් අයකර ගත යුතු බවත් වෛද්‍ය චමල් සංජීව කියා සිටී.

මෙම එන්නත නිසා රෝගීන් දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කළ බවත් ඖෂධය සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කොට පසුව යළි භාවිතයට ගැනීමට ලබාදුන් නිර්දේශය පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වෙන වෙනම පැමිණිලි කර ඇතැයි ද ඔහු කියා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here