Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් රේගු වංචාකරුවන්ගේ විස්තර වෙබ් එකට දමා මහජනතාවට හෙළි කිරීමට රේගුව තීරණය කරයි

රේගු වංචාකරුවන්ගේ විස්තර වෙබ් එකට දමා මහජනතාවට හෙළි කිරීමට රේගුව තීරණය කරයි

0
7


customs-decides-to-put-the-details-of-the-fraudsters-on-the-website-and-disclose-them-to-the-public

රේගු නීති උල්ලංඝනය කරමින් බදු වංචා සිදු කරන පුද්ගලයින් හා ආයතනවල අනන්‍යතාවය මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර ඇත. මෙම පියවර රජයට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස රැස් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දී තිබේ.

වංචනික ලෙස බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින් හා ආයතන අධෛර්යමත් කරමින්, නීති ගරුක වෙළඳ ප්‍රජාව දිරිමත් කිරීම මෙම පියවරේ අරමුණ වේ. එමගින් රටේ ආනයන හා අපනයන නීති උල්ලංඝනය කිරීම වැළැක්වීමටත්, නීති විරෝධී ලෙස භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල් වීම හා පිටවීම අවම කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් අනතුරුව පැවැත්වෙන පරීක්ෂණවලදී වරදකරුවන් බවට තහවුරු වන පුද්ගලයින් හා ආයතනවල විස්තර රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට නියමිතය. මෙම ක්‍රියාමාර්ගය 2025 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, www.customs.gov.lk යන නිල වෙබ් අඩවිය හරහා එම තොරතුරු මහජනතාවට ලබාගත හැකි වනු ඇත.
මීට අමතරව, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය බුද්ධි අංශයේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා රේගුව විශේෂ ඒකකයක්ද පිහිටුවා ඇත. මෙම ඒකකය මගින් රේගු වැරදිවලට සම්බන්ධ වන ආයතන හා පුද්ගලයින් පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා, සැකකටයුතු කටයුතුවල නිරත වන පාර්ශ්ව පිළිබඳ තොරතුරු මූල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමටද කටයුතු කරනු ඇත.
මෙම නව පියවර පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ,


මෙම ක්‍රියාමාර්ගය හරහා රේගු බදු වංචා අවම කර, රාජ්‍ය ආදායම වැඩි කිරීමටත්, නීති විරෝධී භාණ්ඩ ගනුදෙනු පාලනය කිරීමටත් හැකිවනු ඇති බවයි.
රටේ ආර්ථික අභියෝග මධ්‍යයේ රාජ්‍ය ආදායම වැඩි කිරීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස මෙම පියවර හඳුන්වාදීමට හැකි අතර, එමගින් රේගු නීති රීති උල්ලංඝනය කිරීමේ නිරත වන පුද්ගලයින් හා ආයතන අවධානයට ලක්වන බවට අනතුරු ඇඟවීමක්ද ලබාදී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here