රුමේනියා රැකියා සිහින පෙන්වා කෝටි ගණනක් වංචාකළ කාන්තාවක් කොටුවෙයි

0
4

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර සැඟවී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාන්තාව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

මීට පෙර රුමේනියාවේ සේවය කළ ඇය, එරට සම්බන්ධතා උපයෝගී කරගනිමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට පැමිණිලි 15ක් කාර්යාංශයට ලැබී තිබුණි.

එම පැමිණිලි අනුව සිදුකළ විමර්ශන අතරතුර සැකකාරිය නිලධාරීන් මගහරිමින් සැඟව සිට ඇති බව වාර්තා වේ. පිළියන්දල, වැල්ලම්පිටිය, කොළොන්නාව හා කහතුඩුව යන ප්‍රදේශවල ඇය සිටින බවට තොරතුරු ලැබී තිබුණද, වැටලීම් සිදුකළ සෑම අවස්ථාවකම නිලධාරීන් ළඟාවීමට පෙර ඇය පලාගොස් තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධව සැකකාරියට සහාය වූ තවත් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අවසානයේ විමර්ශන නිලධාරීන් විසින් උපාය දූතයෙකු යොදාගෙන සැකකාරිය සම්බන්ධ කරගෙන, විදේශ රැකියාවක් ලබාදීමට අදාළ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ නීතීඥවරයෙකුගේ නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත. එම අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මාර්තු මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here