රාත්‍රියේ ධාවනය වන බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

0
6


රාත්‍රී කාලයේදී ධාවනය වන දුරගමන් බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු උසස් පොලිස් නිලධාරින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ අනුව අදාළ බස් රථ පරික්ෂා කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

පොලිස් කොට්ඨාසවලට අයත් තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරින් කණ්ඩායම් යොදවා මහා මාර්ගයේ ධාවනය වන වාහන සහ විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙනවා. 

එමෙන්ම යතුරුපැදි සංචාරක ඒකකවල නිලධාරින් මගින් මාර්ගයේ යතුරුපැදි ධාවනය කරමින් බස් රථ පරීක්ෂාවට ලක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මේ අතර කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඉකුත් 11 වන දින සිදු වු බස් රථ අනතුරින් බරපතල තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙක්. 

ඒ අනුව එම බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගණන මේ වන විට 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

අනතුරෙන් තුවාල ලැබූ 40කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑළිය යන මූලික රෝහල්වල මෙන්ම පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල්වල  නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි කොත්මලේ පොලීසිය පැවසුවේ.

මේ අතර කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ එම බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස් ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන් කමිටුවක් පත් කෙරුණා. 

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව්දෙනෙකු ඇතුළත්. 
අදාළ කමිටුවේ සාමාජිකයින් ඊයේ දිනයේ එම අනතුර සිදු වූ ස්ථානය සහ අනතුරට පත් බස් රථය පරික්ෂා කළා. 

ඉන් අනතුරුව ඔවුන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු තුවාලකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. 

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ රියදුරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, මෝටර් රථවාහන පරීක්ෂකගේ වාර්තා, විද්‍යාත්මක සාක්ෂි හා විශේෂඥ මත ඇතුළු සියලුම වාර්තා අධ්‍යනය කිරීමෙන් පසු අවසන් කමිටු වාර්තාව ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here