රස ගුණ පිරි හාතාවාරිය කොළ කැඳ

0
12


හාතාවාරිය ඉතා වටිනා ඖෂධයකි. එහි කොළ හා අල කැඳ සඳහා ගනී. උදෑසන ආහාරයක්‌ ලෙස හාතාවාරිය කොළ කැඳ ගැනීම ශරීරගත රෝග රාශියක්‌ සමනය කිරීමට හේතු වෙන බව දන්නවා ද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාතාවාරිය කොළ 500g
  • කැකුළු හාල් 50g
  • ගාගත්  පොල් 50g
  • සුදු ලූනු බික් 2
  • අමු අඟුරු කැබැල්ලක්
  • ලුණු අවශ්‍ය පමණ

සාදන අයුරු:

හාල් ගරා සෝදා වැඩි වතුර දමා හොඳින් බෙරි වෙන්නට තම්බාගන්න. ශුද්ධ කර සෝදා ගත් හාතාවාරිය කොළ වලට වතුර අඬු කෝප්පයක් දමා කොටා මිරිකා පෙරාගන්න. රොඩු ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකාගන්න. හාල් තැම්බෙන විට සුදු ලූනු, අමු ඉඟුරු දමා බත් ටික හැන්දෙන් පොඩි කරන්න. දැන් කොටා මිරිකාගත් පොල්කිරි දමා උතුරවාගන්න. අනතුරුව ලුණු හා කොළ ඉස්ම දමා උතුරුවා බාගෙන විනාඩි 3ක් පමණ හැඳිගාන්න.

හාතාවාරිය කොළ කැඳ ශරීර ශක්තිය වැඩිකරවයි. ශරීරයේ ඇති විස නැති කරන අතර ලේ පිරිසුදු කරයි. මඟින් ශරීරය නිරෝගී කරන අතර වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරයි. ශරීර දැවිල්ල නැති කරයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසුයි. ශරීරයේ ප්‍රතිශක්තියද වැඩිදියුණු කරයි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳිලා තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍යයි. මෙවැනි ගුණ ඇති හාතාවාරිය කොළ කැඳ ඔබත් ගෙදරදී සාදා බලන්න.

– සන්දනා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here