හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) යළි කැඳවීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.
මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට එංගලන්තයේදී ශ්‍රී ලංකා මහ කොමසාරි කාර්යාලයේ නිලධාරීන්ගෙන් සහ හිටපු නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන මෙරටට පැමිණ සිටී.
මීට අදාළ විශේෂ සැසියක් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේදී පවත්වා ඇතැයිද සමාජ මාධ්‍යවල වාර්තා පල විය.
පසුගිය 2025 වසරේ අගෝස්තු 23 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, රජයේ නිල සංචාරයක් බව සඳහන් කරමින් 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල රජයේ මුදල් ලක්ෂ 166ක් අවභාවිතා කිරීමින් පුද්ගිලක විදේශ සංචාරයක නිරතවීම සම්බන්ධනි.
ඊට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව අගෝස්තු 26 වනදා ඔහුගේ රෝගී තත්වය ඇප ලබා දීම සඳහා විශේෂ කරුණක් ලෙස සළකා ඇප ලබා දෙනු ලැබීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසය.
0
Saru News








