රට වෙනස් මඟක ගෙන යාමේ ආදර්ශය දෙමින් ඉදිරියෙන්ම සිටින්නේ ඔබයි – අගමැති – Saru News | සිංහල

0
8

එකමිටට එකතු වී සාමුහිකත්වය තුළින් බාධකවලට මුහුණ දී එකිනෙකා රැකබලා ගනිමින්, එකිනෙකා ගොඩනඟමින් ඉදිරියට යන බවත් රට වෙනස් මඟක ගෙන යාමේ ආදර්ශය දෙමින් ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාවන් බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ අද (08) පෙරවරුවේ මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති ජාතික ජන බලවේගය “ගැහැනු අපි එක මිටට – ඇය නැගිටින විට නැගිටිනවා රට” තේමාව යටතේ සංවිධානය කර තිබු ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිණි.

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානවල නියෝජිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“මෙයට මාසයකට විතර කලින් පාර්ලිමේන්තුවේ දී අපේ බිමල් සහෝදරයා විපක්‍ෂය දිහා බලලා කීවා, මාර්තු අට වැනිදා අපේ ශක්තිය පෙන්වනවා කියලා. අපේ ඒ ශක්තිය තමයි, මේ විදියට දසදහස් ගණනින් එකතු වී ඉන්නේ. මේ ශාලාවල ඇතුළේ ඉන්න සහෝදරියන්ට වඩා එළියේ ඉන්න ප‍්‍රමාණය වැඩියි. අපි ඒ අය වෙනුවෙන් අත්පොළසන් දෙමු. ‘ගැහැනු අපි එකමිටට’ වෙන කොහේවත් නැහැ, ඉන්නේ මෙතැන. ඒ ශක්තිය, ඒ ධෛර්යය රැගෙන මෙතැනට පැමිණ සිටින ඔබ දකින විට අප සියලු දෙනාගේ ම හදවත් තෙත් වුණා. හැම දිනක ම ඔබ අපට ශක්තියක්, ධෛර්යයක් ! දේශපාලන ව්‍යාපාරය තුළ අප ඉන්නේ ඇයි කියලා හැම දිනක ම ඔබ අපට මතක් කර දෙනවා. හැමදාමත් මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප වෙමින්, මේ රටේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වූ ඔබ සියලුම දෙනාට මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මම ස්තුතිවන්ත වෙනවා.

අප හමුවේ තිබෙන අභියෝගවලට මුහුණ දෙන්නේ ඔබෙන් ශක්තිය සහ ධෛර්යය අරගෙනයි. කාන්තා දේශපාලනය තුළ තිබෙන සුවිශේෂී ලක්‍ෂණය සාමුහිකත්වයයි. එකමිටට එකතු වී සාමුහිකත්වය තුළින් අප හමුවේ ඇති බාධකවලට මුහුණ දී එකිනෙකා රැකබලා ගනිමින්, එකිනෙකා ගොඩනඟමින් ඉදිරියට යනවා.

මේ වේදිකාවේ ලස්සන ම කතා දෙක අපේ අලූත් ම සාමාජිකාවන් දෙදෙනාගෙන් අහන්න ලැබුණා. අවුරුදු විස්ස, විසිඑක වන විට මේ වාගේ දැවැන්ත ජන ගඟක් ඉස්සරහා කතා කිරීම ගැන මට නම් හිතන්නවත් පුළුවන් වුණා දැයි ප‍්‍රශ්නයක්. අපේ මේ අනාගතය ගැන ආඩම්බරයි සහෝදරියනි ! ඔබ ආදර්ශයක් දී තිබෙන්නේ අපේ පරම්පරාවට විතරක් නොවෙයි, ඊ ළඟ පරම්පරාවටත් එක්ක. අප දිනෙන් දින ම මේ සංවිධානය ශක්තිමත්ව ගොඩනඟනවා. මේ රටේ ඉන්න සියලූ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට ආදර්ශවත් ලෙස ගැහැනුන් දේශපාලනය කළ යුතු විදිය කියා දෙමින්, ආදර්ශවත්ව දිනෙන් දින ගොඩනැෙඟන ව්‍යාපාරයක් මේක. මේ රටේ ගැහැනුන් කොතැනක සිටියත්, ඔවුන් නියෝජනය කරන්නයි අප දේශපාලනය කරන්නේ.

අනුර සහෝදරයාගේ අතින් ඉඩම් ඔප්පු බෙදීමේ උත්සවකදී අනුරාධපුරයේ අම්මා කෙනෙක් අතට තමන්ගේ ම කියලා ඔප්පුවක් ලැබීමේ සතුට දරාගත නොහැකිව සංවේදී වූ ආකාරය අප දැක්කා. අන්න ඒ අම්මලා වෙනුවෙන් අප වැඩ කරන්නේ. කවුරුවත් ගණන් ගන්නේ නැතිව සියවස් දෙකක් දුක් විඳි මිනිසුන්ගේ ගැහැනුන්ගේ සහ සහෝදරියන්ගේ සතුට නුවරඑළියේ දී අප දැක්කා. එවැනි අය වෙනුවෙන් අප වැඩ කරන්නේ. ‘මලයගම්’ ප‍්‍රජාවගේ  නියෝජනයක් අපට තිබෙනවා විතරක් නොවෙයි, අවුරුදු ගණනාවක් අපට දැනුණු ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්න කි‍්‍රයා කරමින් සිටිනවා. ඔවුන්ගේ පඩි වැඩි කිරීමේ ප‍්‍රශ්නය අවුරුදු ගණනාවක් කතා කරමින් සිටියත්, අපේ ආණ්ඩුවට එය වැඩි කළ හැකි වුණා. අප මෙතැනට එකතු කළේත්, ඉදිරියට එකතු කරන්නේත් සංඛ්‍යාත්මකව ඔළු ටිකක් එකතු කිරීමේ අරමුණෙන් නොවෙයි. ගුණාත්මක සමාජයක් ගොඩනැඟීමට ආණ්ඩු පෙරළියකින් එහා ගිය සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතිය ගුණාත්මක වෙනසක් කිරීම වෙනුවෙන් අප මේ සංවිධාන ගොඩනඟමින් යනවා. රාජ්‍ය සේවයේ, පැක්ටරිවල, ගොවිබිම්වල හෝ වෙනත්  ඕනෑම නිෂ්පාදන බිමක ගැහැනුන් වැඩ කරනවා. ඊට අමතරව ගෙදර දීත්, වෙනත් තැන්වල දී ප‍්‍රජාව වෙනුවෙනුත් වැඩ කරනවා. මේ සියල්ලම හොඳින් දකිමින්, අගය කිරීමක් අපට තිබෙනවා. රට වෙනස් මඟක ගෙන යාමේ ආදර්ශය දෙමින් ඉදිරියෙන් ම සිටින්නේ ඔබයි. 

අනුර සහෝදරයා වැනි නායකයකු එක්ක වැඩ කරන්න ලැබීම ගැන අප ඇත්තටම ආඩම්බර වෙනවා. පසුගිය කාලයේ අපට ඇති වූ අභියෝග ඉදිරියේත්, ඔබ‍ ලබාදුන් එඩිතර නායකත්වය සහ පරිණතකම ගැන අප විතරක් නොවෙයි, මුළු ලෝකය ම දකිනවා. එය අපේ රටට ආඩම්බරයක් ! එවැනි ආඩම්බර විය හැකි නායකත්වයක් එක්ක ගුණාත්මක වෙනසක් කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් එක්කයි, ඔබ සියලු දෙනා අත්වැල් බැඳගෙන ඉන්නේ. ඒ ගැන කල්පනා කරන කොට අපට ආඩම්බරයක් පමණක් නොවෙයි, අපේ ශක්තියත් එන්න එන්න ම වැඩි වෙනවා. 2024 මුල සිදු වූ දැවැන්ත වෙනස මේ රට තුළ ශක්තිමත්ව ගොඩනඟන්න ඔබ දැක්වූ දායකත්වයේ වෙනස අද වෙන කොට අත්දකින්න පුළුවන්. ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගනිමින්, ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඒ වර්ධනයේ සම කොටස්කරුවන් ලෙස ප‍්‍රතිලාභ සෑම දෙනාටම ලබාදෙන කි‍්‍රයාමාර්ග තවත් ඉදිරියට ගෙන යන්න ඕනෑ. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය, කෘෂිකර්ම, ධීවර ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල ආරම්භ කරමින් එන පරිවර්තනීය වෙනස සෑම පුරවැසියකට ම දැනෙන්න ඕනෑ, භුක්ති විඳින්න ඕනෑ. ඒ ඉලක්කය ජය ගත් දවසටයි, අපට සතුටු වෙන්න පුළුවන්. ඔබ හැම දෙනාම මෙතැනට පැමිණ සිටින්නේ ඒ ඉලක්කය වෙත ධෛර්යයෙන් හා ශක්තියෙන් පියනඟා යාමටයි. අපේ සාමුහිකත්වය නැවත නැවතත් අලූත් කර ගනිමින්, ඔබ ලබා දෙන නායකත්වය වාගේ ම අප සියලු ම දෙනාට ලබා දෙන ආදරයටත් ස්තුතිවන්ත වෙනවා.”


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here