අද (29) දින ජාතික ලුණු සමාගමට අයත් අලිංමකඩ ලුණු ලේවායේ `රජ ලුණු’ සන්නාමයෙන් නිෂ්පාදනය ආරම්භ වූ නව මේස ලුණු කර්මාන්තශාලාව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ඇමති සුනිල් හඳුන්නෙත්ති සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර් යන ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලින්ගම් වේතනායහන්, උතුරු පළාතේ දේශාපාලන නියෝජිතයින්, ඉහළ රාජ්‍ය නිලධාරීන්, ජාතික ලුණු සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිනි.
නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට මෙට්‍රික් ටොන් 05කින් ලුණු නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින අතර කිලෝ ග්රෑම් 01 සහ ග්රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ලබන 01 සිට වෙළෙඳපලට නිකුත් කිරීමට නියමිතය.
එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව තුලින් සෘජු හා වක්‍ර රැකියා 450ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවතී.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් “අද දවස උතුරු පළාතට පමණක් විශේෂ දවසක් නෙවෙයි. අද දවස මුළු මහත් ශ්‍රී ලංකාවටම විශේෂ, සතුටු වෙන්න පුලුවන් දවසක්. මොකද මම එහෙම කියන්නේ අපේ මේ මාස 05 ආණ්ඩුවට පුලුවන් වුනා අපේ පළමු නිෂ්පාදනය ජනතාවට ලබා දෙන්න. ඒ වගේම මම සතුටු වෙනවා ලංකාවේ වෙළඳ පොලේ අඩුම මිලට ඉහළ ගුණාත්මක බවින් යුත් මේස ලුණු අපේ ජනතාව වෙත ලබා දීමට හැකි වීම සම්බන්ධයෙන් ඒ වගේම මම කියන්න ඕන රජයට ජනතාව බදු ගෙවනවනම් රජයේ වගකීම තමයි හොඳම දේ ජනතාවට ලබා දීම. ඒ වගකීම තමයි අපි මේ දැන් ඉටු කරමින් ඉන්නේ. එය ඉටු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මම අතිශය සතුටු වෙනවා.
අපිට අවශ්‍ය ජනතාවගේ අතට නිෂ්පාදනයේ, ආදායමේ අයිතිය ලබා දීල ජනතාවගේ දුප්පත්කම නැති කරන්න. ඒ වගේම අපේ බලාපොරොත්තුව තමයි රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ලුණු ටික නිෂ්පාදනය කරල අතිරික්ත ලුණු අපනයන ආදායමට එක්කර ගන්න. ඒ කියන්නේ රටට අවශ්‍ය ඩොලර් ගේන්න. මම හිතනව තව අවුරුදු 02 ක් හෝ 03 ක් ඇතුලත අපිට ඒ ඉලක්කයට ලඟා වෙන්න පුලුවන් වෙයි කියල. ඒ වගේම තමයි මේ අලිමංකඩ ලුණු ලේවායෙන් නිපදවෙන ලුණු ප්‍රමාණය මදි මේ යන්ත්‍ර සූත්‍ර වලින් උපරිම නිෂ්පාදනය අපට ලබා ගන්න. ඒ නිසා මෙතනට එහා පැත්තෙ තියෙනවා කුරින්වතිව් (Kurinchathivu) ලේවාය. ඒ කොටස යුද්ධ කාලෙදී ලුණු නිෂ්පාදනය අතහැරල දාල තිබුණු කොටසක්. ඒ ලේවායෙත් වැඩ ඉක්මනට පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක සංර්වර්ධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතියත් අපි ඉල්ලල තියෙන්නේ. රජය හැටියට අපි රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ජනතාව පීඩාවට පත් කරමින් උපරිම ලාභ ලබන්න නෙවෙයි. ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න. අපේ මේ ලුණු සමාගමෙන් වගේම අනෙකුත් හැම ව්‍යාපාරයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ රජයට සාධාරණ බදු ගෙවීම, ජනතාවට රැකියා සැපයීම, ජනතාවට අඩුම මිලට භාණ්ඩ සැපයීම, ඒවගේම පෞද්ගලික අංශයෙන් ජනතාවට අසාධරණයක් වෙනවා නම් ඒ අසාධාරණ මිලට එරෙහිව සාධාරණ මිල ස්ථාපිත කිරීම වැනි දේවල් සඳහා. ඒ වගේම අපි ඉදිරියේ දී උතුරු පළාතසංවර්ධනය කර රටේ සංවර්ධනයට දායක කරගන්න අවශ්‍ය ව්‍යාපෘති කිහිපයකුත් ආරම්භ කරන්න සැලැසුම් සකස් කරල තියෙන්නේ. ඒ අතර පරන්තන් රසායනික කලාපය, මාන්කුලම් සහ කන්කසන්තුරය අපනයන කලාප ආරම්භ කිරීම, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ඒ අතර විශේෂයි.” යැයි පැවසීය.
මෙම අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වන අතර එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ජනප්‍රිය වී ඇත. අලිමංකඩ ලුණු ලේවාය 2001 වර්ෂයේදී ලුණු සමාගම යටතට පත් වුවත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නොහැකි විය. කෙසේ වුවත් මේ වනවිට එම කර්මාන්ත ශාලාව ක්‍රමයෙන් ඉදිරියට ගෙනවිත් මේස ලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම දක්වා ඉදිරියට රැගෙන ඒමට හැකියාව ලැබී ඇත.
පසුගිය 2024 වර්ෂයේදී ලුණු මේට්ට්‍රික් ටොන් 13,800ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති මෙම ලේවායේ 2025 වර්ෂය තුළ ලුණු මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. මෙම අලිමංකඩ ලුණු ලේවායේ කටයුතු ප්‍රර්වධනය කිරීම හරහා එහි ආර්ථික ප්‍රතිලාභ උතුරු පළාතේ ජනතාවට මෙන්ම රටේ සමස්ත ආර්ථික සංර්වධනයට බෙහෙවින් ඉවහල් වනු ඇත.
Saru FM Media