“රජයක් ලෙස අප පළමුව යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා” – ජනපති – Saru News | සිංහල

0
5

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අප රජයක් ලෙස බාහිර පාර්ශවන්ට අපේ පිරිසිදු බව පෙන්වීමට පෙර, අප වෙනුවෙන්ම වග වී යහපත් ආණ්ඩුකරණයක් සඳහා කැප විය යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති ඒ වෙනුවෙන් ආයතනික මට්ටමින් පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කරමු’යි සියලු දෙනාට ආරාධනා කළේය.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා වන ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසිනි. එමෙන්ම සමූල ඝාතන අවි නිෂ්පාදනයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහාද මෙම කාර්යසාධක බලකාය විසින් ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ. එහිදී සියලු රටවල් අනුගමනය කළ යුතු නිර්දේශ 40ක් මේ වනවිට මූල්‍ය කාර්යසාධක බලකායෙන් නිකුත් කර ඇත. මෙමගින් මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා ඒ ඒ රටවල පිහිටුවා ඇති පද්ධති, ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති ආකාරය, නීතිමය රාමුව, සම්පත් යෙදවීම, ඵලදායීතාව සහ පාර්ශ්වකරුවන්ගේ හැකියාව ඇතුළු නිර්ණායක පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරයි. මෙම ක්‍රියාවලිය අන්‍යෝන්‍ය ඇගයීම ලෙස හැදින් වේ.

මෙය ජාතික මට්ටමේ විගණන ක්‍රියාවලියක් වන අතර, අදාළ කලාපීය අධීක්ෂණ ආයනය විසින් එම කටයුතු සම්බන්ධීකරණය කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ එම ඇගයීම පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසිනි. මේ සඳහා උපදේශකත්වය එහි හිටපු විධායක ලේකම්වරයෙකු වන ආචාර්ය Gordon Hook විසින් සැපයේ. දේශීයව මෙම ක්‍රියාවලිය සඳහා පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලැබේ.

ජනාධිපති විසින් පත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී කමිටුව විසින් අදාළ ඇගයීම් ක්‍රියාවලියේදී මෙම පාර්ශ්වකරුවන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය අධීක්ෂණය කෙරේ.

ශ්‍රී ලංකාව මින් පෙර 2006 සහ 2014-2015 වසරවලදී මෙම ඇගැයීමට ලක්ව, ඉන් අසාර්ථක වී 2017 වසරේදී ජාත්‍යන්තරව අසාදු ලේඛනගත (Greylisted) වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් වත්මන් රජය ලබා දෙන බැවින්, ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

පවතින නීතිමය බාධා සහ පනත් සම්මත කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව ජනාධිපති මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර, එම කටයුතු ප්‍රමාද නොකර, අවශ්‍ය තාක්ෂණික සංශෝධන කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.

රාජ්‍ය ආයතන රැසක පවතින මානව සම්පත් හිඟය ඇගයීම් ක්‍රියාවලියට බාධාවක් වී ඇති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, පවතින නිලධාරී හිඟය පියවීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, පරිපාලන ප්‍රමාදයන් මඟහැරීම සඳහා, අදාළ ආයතනවල සේවය කර විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් වසරක කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පවතින හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එක් නිලධාරියෙකු තනතුරු කිහිපයක වැඩ බැලීම නිසා ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය නිවැරදි කිරීමටත්, උසස්වීම් සහ බඳවාගැනීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් කිරීමටත් උපදෙස් දුන් ජනාධිපති, ඇගයීම් ක්‍රියාවලිය සඳහා පුහුණු කළ නිලධාරීන් නිරන්තරයෙන් මාරු කිරීම නිසා සිදුවන පසුබෑම වළක්වා ගැනීමට, ලබන නොවැම්බර් මාසයේදී ඇගයීම් අවසන් වන තෙක් අදාළ නිලධාරීන් එම තනතුරුවලම රඳවා තබා ගන්නා ලෙසට චක්‍රලේඛයක් නිකුත් කිරීමටද උපදෙස් දුන්නේය.

මෙම ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති විසින් පත් කරන ලද විශේෂ කාර්ය සාධක බලකායේ (Task Force) වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු අමාත්‍යාශයේ ලේකම් අරුණි රණරාජා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුද, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවල ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here