යෝෂිතගේ, ඩේසි ආච්චිගේ නඩුව අප්‍රේල් 24 කැඳවීමට නියෝග… – Saru News | සිංහල

0
3

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපති විසින් ගොනු කර ඇති නඩුව අප්‍රේල් 24 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කර තිබේ.

මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔක්ස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිකාර ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්වයකින් පසුවනවාද යන කාරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු එම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු විසින් මෙම නඩුව යළි අප්‍රේල් 24 වැනිදා කැඳවීමට නියෝග කරනු ලැබ තිබේ.

2009 මාර්තු 31 වැනිදා සහ 2013 දෙසැම්බර් 12 වැනිදා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.


8

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here