යෝග ව්‍යායාම් නිවැරදිව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල

0
14


යෝග අභ්‍යාස කියන්නෙ බුද්ධ වර්ෂ 2700 දී පමණ ආරම්භ වුනා යැයි විශ්වාස කරන සරල ව්‍යායාම, හුස්ම පාලනය සහ භාවනාව යන කොටස් වල එකතුවක්.

අද වෙද්දී අන්තර්ජාලය ඔස්සෙ විවිධ ප්‍රතිඵල ලබාදෙන බොහෝ යෝග ව්‍යායාම් ක්‍රම ප්‍රසිද්ධ වෙමින් පැවතුනත් ඔබ ඒ ක්‍රම සියල්ලම අනුගමනය කරන්නට යාම අපි අනුමත කරන්නෙ නෑ. 

මොකද නිවැරදිව කරන යෝග ව්‍යායාම් වලින් ඔබ නොසිතන තරම් යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනව වගේම වැරදි යෝග ව්‍යායාම් ක්‍රම නිසා ගැටළු රාශියකට මුහුණ දෙන්නත් ඔබට සිදුවිය හැකි නිසයි.

ඉතිං අන්න ඒ නිසා අපි අද ඔබත් එක්ක කතා කරන්න යන්නෙ හොඳ උපදේශකවරයෙකුගේ මඟපෙන්වීම යටතේ නිවැරදිව යෝග අභ්‍යාස වල නිරත වීමෙන් ඔබට ලබාගන්න පුළුවන් ප්‍රතිඵල ගැනයි. 

යෝග ආසන බොහොමයක් ඔබේ ශරීරය සෘජුව සහ සමබරව පවත්වා ගනිමින් සිදුකල යුතු විදිහට නිර්මාණය කරල තිබෙනවා.

ඒ නිසා ඔබේ වැරදි ඉරියව් නිවැරදි කරගන්න හොඳ අවස්ථාවක් ඔබට ලැබෙනවා.

මාංශපේෂී මත පීඩනයක් ලබා දෙමින් ක්‍රියාත්මක වන නිසා අනවශ්‍ය ලෙස තැම්පත් වී ඇති මේදය දහනය කර මාංශපේෂී හැඩ කරන්න යෝග අභ්‍යාස වලට පුළුවන්. 

යෝග අභ්‍යාස වල යෙදෙන විට පවත්වා ගෙන යන යෝග ආසන බොහෝවිට සමමිතික වෙනව. 

ඒ නිසා මාංශපේෂී හා ඉරියව් නිවැරදිව පවතින විට මිනිත්තු කීපයක් ඒ මාශපේෂී වලට පීඩනයක් එහෙමත් නැත්නම් ආතතියක් ලබා දීම යෝග අභ්‍යාසය හරහා සිද්ධ වෙනවා. 

මෙය රුධිර සංසරණය වගේම හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්නත් උදව් වෙනවා. 

මේ විදිහට පුරුද්දක් ලෙස යෝග අභ්‍යාස වල නිරත වෙද්දී අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ වැනි තත්වයන් පාලනය කරගන්නත් ඔබට පුළුවන්. 

රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් වීම සහ ආහාර ජීර්ණ පද්ධතිය අසල මාංශපේෂී වලට පීඩනයක් ඇති කරන නිසා මාංශපේෂී වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීම සිදුවෙනව. 

ඒ නිසා ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වීමෙන් බඩ පිපීමේ තත්වයන් සහ ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටළු ඇතිවීම අවම කරනවා. 

යෝග අභ්‍යාස වල යෙදෙන විට සන්ධි සහ මාංශපේෂී ඉතාමත් සෙමින් සහ ඒවට හැකි උපරිමයෙන් චලනය කරවීමක් සිදු කරනවා.

මේ නිසා සන්ධි වල නම්‍යශීලි බව වැඩිකරන අතරම නිවැරදි ඉරියව්වෙන් මිනිත්තු කීපයක් රැඳී සිටින නිසා සන්ධි හා මාංශපේෂී ශක්තිමත් කරමින් දරා ගැනීමේ හැකියාව වැඩි කරනවා.

ඒ වගේම අපි මුලින් සඳහන් කරපු විදිහට හොඳ උපදේශකවරයෙකු යටතේ යෝග අභ්‍යාස හැදෑරීම සිදුකලොත් ඔස්ටියෝපොරෝසිස් සහ ආතරයිටීස් වැනි තත්වයන්ගෙන් සහනයක් ලබා ගන්නත් පුළුවන්. 

රුධිර සැපයුම ක්‍රමවත් වීම සහ හුස්ම පාලනය කිරීමත් භාවනාවේ නිරත වීමත් සිත එක අරමුණකට ගෙන එන්න ඔබට උදව් කරනවා.

මානසික පීඩනය සහ ආතතිය දුරු කර හිතේ සහනය ලබා ගන්නත් යෝග අභ්‍යාස වල යෙදීම ඔබට උදව් කරනවා. 

යෝග අභ්‍යාස කරන්න ඔබේ වයස කොහොමත්ම බලපාන්නෙ නෑ. ඔබ තරමක් වයසින් වැඩි පුද්ගලයෙක් වුනත් ඔබ සඳහාම බොහොම සරල යොග අභ්‍යාස වුනත් තියෙනව. 

ඉතිං ඔබටත් හොඳ උපදේශකවරයෙකු යටතේ යෝග අභ්‍යාස වල නිරත වෙලා මේ විදිහට කායික හා මානසික සුවතාවය ඇති කරගන්න පුළුවන්.

එහෙම නම්, යෝග අභ්‍යාස පටන් ගමුද? 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here