යොවුන් දරුවන් වයසින් වැඩි විරුද්ධ පාර්ශවයට යොමු වෙන්නේ ඇයි?

0
15


අද වන විට අපේ සමාජය තුළ වාර්තා වන සිදු විම් ගත් කළ ඇස් කන් අදහා ගත ‍නොහැකි තත්ත්වයක් ඇති ව ඇති බව කාටත් නොරහසකි. අපේ පුංචි දරුවන්ට තම ජීවිතය අහිමි වන්නේ කිසිවෙකුත් නොසිතූ ආකාරයටයි. ඒ කෙසේ වෙතත් මෙහි මූලිකම හේතුව වැඩිහිටියන් දරුවන් පිළිබඳව හරිහැටි දැනුවත් නොවීමද යන්න ද සැක සැක සහිතය. දරුවන් තුළ ඇති වන ආශාවන් ඔවුන්ට නිවසින් ලැබිය යුතු ආදාරය කරුණාව දයාව ගැන වැඩිහිටියන් නොදැනුවත් වීම මේ සිදුවීම් වලට හේතු වනවාද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුමය. විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්ගේ ජීවිත යම් අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවාද යන්න සිතෙන මුත් යම් යම් අතවර වලට හැම දරුවෙක්ම ගොදුරු වනවාද යන්න ගැටලුවක්ව පවතී. ඒ කෙසේ වෙතත් දරුවන්ගේ වයස් සීමාවන් හා බැදුණු ඔවුන්ගේ ගති පැවතුම් පිළිබඳව වැඩිහිටි අපි දැනුවත් වීම ඉතාම වැදගත් වනු ඇත. 

මහාචාර්යතුමනි, මේ නව යොවුන් විය කියන්නේ කුමන වයස් සීමාවද?

අපේ රටේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන් අපි ළමයින් ලෙස හඳුන්වනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව දරුවෙක් ලෙස හදුන්වන්නේ උපතේ සිට අවුරුදු 10 දක්වා වයස් කාණ්ඩයයි. නව යොවුන් විය ලෙස වයස අවුරුදු 1019 දක්වා දරුවන් අයත් වෙනවා. මේ නව යොවුන් විය නැවත කොටස් තුනකට වෙන් වෙනවා.

මහාචාර්යතුමනි, සෑම දරුවෙක්ම වැඩිහිටියෙකුගේ ගොදුරක් බවට පත් විය හැකිද?

අද වන විට වැඩිහිටි පුද්ගලයන් අතින් දූෂණයට ලක් වීම වැනි අපේ දරුවන් මුහුණ දෙන පීඩාකාරී ගැටලු සම්බන්ධව සිද්ධීන් විශාල ප්‍රමාණයක් සායනවලදී අපට අසන්නට ලැබෙනවා. මේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී දකින දෙයක් තමයි ගුරුවරු සහ දෙමව්පියෝ හිතනවා මේක හැම දරුවෙකුටම වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා ඔවුන් මවට/පියාට/ගුරුවරයාට දරුවාට අවශ්‍ය ආරක්ෂාව ලබා නොදුන් බවට චෝදනා කර ගන්නවා. නමුත් මේ තත්ත්වය එතැනින් එහාට ගිය තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 සිට 16 දක්වා වයස් සීමාවේ එනම් මැද යොවුන් විය තර්ක විතර්ක ඉදිරිපත් කරමින් නීති රීති කඩා බිඳ දමමින් යන, යම් තාක් දුරකට ඉක්මනින් කෝප ගැන්වෙන වයස් සීමාව විදියට අපි හඳුන්වනවා. මේ ආකාරයට 2.5%5% අතර ප්‍රමාණයක් ආවේගශීලී ගති ලක්ෂණ පවතින දරුවෝ සිටින අතරම බොහෝ විට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ දෙන්නෙ එවැනි දරුවන්. මොකද මේ දරුවන් යමක් පිළිබඳව සිතා බලා කටයුතු කිරීමට තරම් ඉවසිලිවන්ත නැහැ. උදාහරණයක් විදියට යම් කෙටි පණිවිඩයකට පිළිතුරු දීමට වුවත් ඔවුන් සුළු වෙලාවක් හෝ කල්පනාකාරී වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ආවේගශීලී දරුවන් අනාරක්ෂිත විය හැකියි.

මහාචාර්යතුමනි, එවැනි ආවේගශීලී දරුවන් කවුද?

ආවේගශීලි දරුවන් අතරත් තවත් කොටස් කිහිපයක් දැකිය හැකියි.

මේ දරුවන්ට ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතුද?

හැම දරුවෙක්ටම ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. පාසලේ මනෝ උපදේශක ගුරුවරියව හමුවීම එවැනි තත්ත්වයකදී අපි මූලිකව කළ යුතුයි. 

මහාචාර්යතුමනී, වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන තැන ඉඳලාද මන්දා අද වන විට අපේ ගැහැනු දරුවන් විඩිහිටි පිරිමි පුද්ගලයන් සමග සබඳතා පවත්වන ප්‍රවණතාවයේ වැඩි වීමක් පෙනී යනවා. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

නව යොවු වියේ පසුවන දැරිවියන් තිදෙන‍නෙක් ගැබ් ගත් අවස්ථා එකම සතියක් තුළ සායනවලදී මට හමුවෙලා තියෙනවා. ඒ තත්ත්වයන් හරිම කණගාටුදායකයි. නමුත් එසේ මට හමුවුණු ඒ දැරිවියන් තිදෙනාම මේ සබඳතාවයන් ගොඩ නාගා ගෙන තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේයි. වසය අවුරුදු 28 පමණ වන තරුණයන් සමගයි. ඒ දැරියන් තුන් දෙනාම ඔවුන් සම්බන්ධය පටන් ගත්තේ වැඩිහිටියෙක් සමග බව දැන සිටියා.

මේ තත්ත්වයට මූලික හේතු ලෙස, 

ඉහත දැක්වූ උදාහරණයට අයන් දියණියන් තිදෙනාගේම පියා නිවසේ රැදෙන්නේ ඉතා අඩුවෙන්. පියා සමග මනා චිත්තවේග සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබී නැහැ. ඒ නිසා තාත්තා කියන හැඟීම ඔවුන්ගේ යටි හිතේ තැන්පත් වෙලා නෑ. අන්න එතකොට මෙවැනි දරුවන් එන අවදානම ගැන නොසිතා හදිසි තීරණ වෙත යොමු විය හැකියි.

මවගේ ප්‍රතිචාරය මතත් දරුවෙකු මෙවැනි කරදරයන්ට ගොදුරු විය හැකියි. උදාහරණයක් ලෙස පෙම්වතා සමග කෑමකට, චිත්‍රපටයක් නැරඹීමට යන අවස්ථාවකදී රෑ වීම නිසා ගෙදර නිවසට පැමිණීමට බිය විය හැකියි. මව කෑ කෝ ගසන, පහර දෙන අයෙක් නම් දරුවෙක් ඔවුන්ගේ දේ මවගෙන් වසන් කිරීමට පෙළඹිය හැකියි. මව හා දියණිය අතර මනා සබඳතාවයක් ඇත්නම් මෙවැනි ගැටලු දුරදිය නොගොස් ඉතා ඉක්මනින් විසදී යනු ඇත. 

සමකාලීනයන් අතර මෙවැනි වැඩි වයස් සම්බන්ධතා  අහන්න දකින්න ලැබීම නිසා මෙය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙනවා. සායනවලදි සමහර දරුවෝ කියනවා අපේ පන්තියේ තවත් ගොඩ දෙනෙක්ට මේ වගේ සම්බන්ධකම් තියෙන බව. අන්න ඒ ආකාරයට සමකාලීනයන්ගෙන් ලැබෙන උත්තේජනයත් මේ තත්ත්වයන්ට බලපානවා. 

මහාචාර්යතුමනි, මේ කුඩා වයසේදී මේ දරුවන් මෙවැනි සම්බන්ධතා වෙත යොමු වන්නේ කොහොමද?

මේ විදියට අපයෝජනයට ලක්වුනු දියණියන් සමග කතාකරද්දි අහන්න ලැබෙන දෙයක් තමයි අන්තර්ජාලය බොහෝ සෙයින් මෙවැනි ගැටලුවලට හේතු වෙලා තියෙන බව. උදාහරණ විදියට වට්ස් ඇප් මැසේජස් එකකින් වෙන්න පුළුවන්. මේ දරුවන්ට මේක ආරම්භයේදී වෙනසක් දැනුනත් ඒ හරහා ‍යම් දුරක් ගොස් සිටින නිසා ඇතැම් විට ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ.

දෙමාපියන් මෙවැනි දරුවන් සායන වෙත රැගෙන ඒමට මැලිකමක් දක්වන්නේ නැතිද?

ඇත්තටම මෙතන දරුවන් බොහොම අසරණ තත්ත්වයට පත්වන අවස්ථාවක්. දරුවන්ගේ ජිවිතයේ යම් ගැටලුකාරී අවස්ථාවක අමුත්තක් අවදානමක් පෙනෙන අවස්ථාවක ඒ දේ සම්බන්ධව කාත කරලා විසඳ ගත හැකි වටපිටාවක් දරුවාට ගොඩ නගා තිබීම දෙමව්පියන්ගේ කාර්යභාරයක්. මේ දේ ආරම්භ කළ යුතු වන්නේ දරුවාට වයස අවුරුදු 3, 4 කාලේදීමයි. කුඩා කාලයේදී දරුවා නාවද්දිම අවයව පිළිබඳව ඔවුන්ට දැනුමක් ලබා දිය යුතුයි. ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වෙද්දිම දරුවට සුදුසු හා නුසුදුසු ස්පර්ශය මොනවාද යන්න අවබෝධ කළ යුතුයි. එවිට දරුවා සහ දෙමාපියන් අතර පරතරය අවම වෙනවා. නව යොවුන් වියේදී ඇති වන මෙවැනි ගැටලු මව/පියා සමග කතා කිරීමට දරුවාට මගක් විවර වෙනවා. දෙමාපියන් දරුවන් සමග මේ ආකාරයට මනා චිත්තවේග බැදීමක් ඇති කරගැනීම තුලින් මෙවැනි තත්ත්වයන් වලක්වා ගත හැකියි. එසේ නොවුණු විට තමයි දරුවන් පාසැලේ ගුරුවරියට හොඳම යෙහෙළියට හෝ මේ ගැටලු ගැන පවසන්නේ. එතැනින් ඇතැම් විට විසදුමක් ලැබෙන්නත් පුළුවන්. පවතින තත්ත්වයට වඩා ගැටලුව උග්‍ර වීමටත් ඉඩ කඩ තිබෙනවා. 

මහාචාර්යතුමනි, මේ තත්ත්වය අවබෝධ කරවීමට දරුවන් අතරට මෙය ගෙන යා හැක්කේ කෙසේද?

පළමුව ශිෂ්‍ය නායකයන් සහ පන්තියේ සිටින ජනප්‍රිය දරුවන් හරහා මෙය අනෙක් සිසුන් වෙත රැගෙන යායුතුයි. ඒ වගේම සතියකට වරක් දරුවන් සමග අඩුම තරමේ පැය  භාගයක කාලයත්වත් පරිපූර්ණ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය/ කේන්තිය/ ඉවසීම/නවයොවුන් වියේ ගැටලු ගැන ගුරුවරු සකච්ඡා කිරීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පාසලේ ක්‍රිකට් කණ්ඩායමෙ නායකයා උදෑසන රැස්වීමේ විනාඩි 5 ඉවසීම ගැන කතා කලොත් දරුවො මේවා අහන් ඉන්නවා. 

පාසලේදී දරුවෙකුගේ අසාමාන්‍ය හැසිරීමක්/ආවේගශීලී ගති ලක්ෂණ ගුරුවරයෙක් පාසැලේදී දකිනවා නම් මේ පිළිබදව රජයේ වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා, මානසික උපදේශකයෙක් එක්ක කතා කරලා එහෙම නැත්තම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 කියන අංකයට කතා කරලා පුහුණු හෙද නිලධාදාරිනියකගේ උපදෙස් ලබා ගැනීම (පැය 24 පුරා ඔවුන්ගේ සේවය ලබා දෙනු ඇත) කළ හැකියි. 

දරුවන් දවස පුරා කරන්නේ මොනවාද කියා දැනගත යුතුයි. උදාහරණයක් විදියට සායනවලදී අම්මලාගෙන් දරුවාගේ යාළුවන් තිදෙනෙක්ගේ නම් ඇහුවත් ඇතැම් අම්මලා දන්නේ නැහැ. දෙමව්පියන් අනිවාර්යෙන්ම දරුවන් ආශ්‍රය කරන යහළුවන්ගේ නම් ඔවුන් කාගේ කවුද ගති ගුණ පිළිබඳව දැනුවත් විය යුතුමයි. 

ළමා යොවුන් මනස පිළිබඳ මහචාර්ය, විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here