යුද හමුදා මූලස්ථානය අසල දී කරන්දෙනිය සුද්දාගේ නීතීඥයා හා බිරිය වෙඩි තබා මරාදමයි

0
4

බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී අද (13) දා සවස 5.00ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ආසන්නයේ පිහිටි සුපිරි වැළඳ සැලක් ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වලල්ලාවිට, ලේදොළ වත්ත ප්‍රදේශයේ පදිංචි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි (46) සහ ඔහුගේ බිරිය වන වෙල්ලාල ආරච්චිගේ නිසංසලා (41) නැමැත්තියකි.

මියගිය නීතීඥයා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බව පැවසේ.

ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර ඇති බවද පැවසේ.

වෙඩි වැදීමෙන් මෝටර් රථය තුළදීම දෙදෙනා මියගොස් තිබූ බව පොලිසිය කියයි.

වෙඩිතැබීමෙන් පසුව වෙඩික්කරුවන් සිල්වර් පැහැති Blue Bird වර්ගයේ මෝටර් රථයකින් පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.

මෙම වෙඩිතැබීමත් සමග වසරේ මේ දක්වා කාලය තුළදී සිදුවූ වෙඩි තැබීම් 7කින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here