යල් පැනගිය නීති පද්ධතිය කාලීන අවශ්‍යතාවලට අනුකූලව යාවත්කාලීන කිරීමට නව වැඩක්!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ පවතින යල් පැනගිය නීති පද්ධතිය කාලීන අවශ්‍යතාවලට අනුකූලව යාවත්කාලීන කිරීම සඳහා රජය නව තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. 

බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිවෙන පැරණි නීති රීති සහ අණපනත් වඩාත් සරල මෙන්ම කාර්යක්ෂම මුහුණුවරකින් ජනතාව වෙත සමීප කරවීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර දහතුනක් ඔස්සේ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් හිමිව තිබේ.

රාජ්‍ය සේවා සැපයීමේදී පවතින නෛතික බාධා ඉවත් කරමින් මහජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාගත හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් නියෝජනය කරන උපකමිටු සඳහා නිර්දේශයක් ලබා දීලා තියෙනවා.

අපි දන්නවා අපේ තියෙන සමහරක් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වාම ගමන් කරන ඒවා. සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා බොහොම පැරණි ඒවා. පැරණි වූ පමණින්ම නීති සියල්ල ඉවත් කළ යුතු නැහැ. 

ඒ වගේ තියෙන සාධනය ලක්ෂණ අපට අවශ්‍යයි. නමුත් කාලීන වශයෙන් වෙනස් වන තත්ත්වයන්ට අනුගත වන විදියට, වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන විදියට  ඒ නීති රීති අණපනත් රෙගුලාසි ඕනෑම එකක් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා. ” ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. 

පවතින නීතිවල ඇති යහපත් ලක්ෂණ ආරක්ෂා කරගනිමින්, නූතන සමාජ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අත්‍යවශ්‍යතාව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරනු ලබයි.

The post යල් පැනගිය නීති පද්ධතිය කාලීන අවශ්‍යතාවලට අනුකූලව යාවත්කාලීන කිරීමට නව වැඩක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here