අතිගරු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, අතිගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,
ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,
ආයුබෝවන්, වනක්කම්, නමස්තේ, සුබ උදෑසනක්!
අපගේ රජය පිහිටු වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස අතිගරු ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ සම්භාවනීය දූත පිරිස මම උණුසුම් ලෙස පිළිගන්නවා. සාම්ප්‍රදායික නොවන දේශපාලන පසුබිමකින් පැමිණ, සිය රට, දියුණු, නව ලෝකයක් කරා ගමන් කිරීමට බාධාවක්ව පවතින දේශපාලන සංස්කෘතිය සහ අගතීන් වෙනස් කරන බවට ජනතාව සමග ඇති කර ගත් සම්මුතියකින් බලයට පැමිණි ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා විසින් ඉන්දියාවේ සිදු කරන ලද දේශපාලන පරිවර්තනයට සමාන අපේක්ෂාවන්ගෙන් යුතුව බලය අත්පත් කර ගත් අප මෙම සිදුවීම් අගය කිරීම, ඓතිහාසික කටයුත්තක් ලෙස මා සලකනවා.
මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අනාදිමත් කාලයක සිට පවත්වා ගෙන එන සබඳතාවල සමීපත්වය සහ මිත්‍රශීලීබව පිළිබිඹු කරනවා. කිලෝමීටර 50 කට වඩා අඩු පටු සාගර තීරයකින් වෙන්ව ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මෙම සමීපත්වයටත් වඩා බෙහෙවින් සමීප බව කිව යුතුමයි.
විවිධත්වයේ දේශය වන ඉන්දියාව, ඉතිහාසයේ සිටම ලෝක සංස්කෘතිය සහ ආධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. එය අද දවසේ ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව සිහිපත් කරනවා.
ඉන්දියාව බැබලෙන ආකාරයත්, නැඟී සිටින ආකාරයත් අපි දැක තිබෙනවා. කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙසත් ඉන්දියාව ස්ථානගතව ඇති ආකාරය සම්බන්ධයෙන් අපි අත්පොළසන් දෙනවා. අපගේ ඒ අත්පොළසන් දීම අවංක වූවක් බවත් සඳහන් කළ යුතුයි. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ නැගිටීම, දකුණු ආසියාවටම බැබලිය හැකි, එක්ව ළඟා කර ගත යුතු ඉලක්කයක් බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිය භූගෝලීය සමීපත්වයට වඩා වැඩි යමක් බෙදා – හදා ගන්නවා. අප වසර දෙදහස් පන්සීයකට වැඩි කාලයක් පුරා දිවෙන ගැඹුරු ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික සබඳතා ඇති අසල්වැසියන්. කාලයේ පරීක්ෂාව සමත්ව ඇති අපගේ සම්බන්ධතාව ගොඩනැඟී ඇත්තේ පොදු වටිනාකම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තම රටවල විවිධත්වය හා ගතිකත්වය බෙදා ගනිමින් ශිෂ්ටාචාරික හවුල්කරුවන් ලෙස ඉතිහාසය, භාෂාව, ආගම, ආචාරධර්ම, කලාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සෑම ක්ෂේත්‍රයකම සමීපතමයින් බවට පත්ව තිබෙනවා.
ආසන්නතම, අත් නොහැර සිටින මිත්‍රත්වය සම්බන්ධයෙන් අපට සිහිපත් වන උදාහරණයක් වන්නේ 1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී, ආරක්ෂාව සම්බන්ධ කරුණක් මත කණ්ඩායම් දෙකක් අප රටේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ප්‍රදර්ශන තරගයකට සහභාගීව දැක් වූ මිත්‍රත්වයයි. ඒ සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය නැවතත් පළ කරන්නට කැමැතියි.
ශ්‍රී ලංකාව ජාතික අභිලාෂයන් මුල් තැන තබාගෙන සාමය හා ජාතීන්ගේ ස්වෛරීභාවය ප්‍රවර්ධනය කරමින් හසුරුවන විදේශ ප්‍රතිපත්තිය අපගේ මාර්ග සිතියම වෙනවා. මෙයට සුළු වේලාවකට පෙර, අගමැති මෝදි මැතිතුමා සහ අපගේ නියෝජිත පිරිස් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.
අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවේ වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අප, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තා.
නවදිල්ලි නුවර වෙත සිදු කළ මාගේ සාර්ථක සංචාරය සිහිපත් කරන අතරම, එහිදී සම්මත කරගත් ‘බෙදාගත් අනාගතයක් සඳහා හවුල්කාරිත්වය ප්‍රර්වර්ධනය කිරීම නම් ‘ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශනයේ ඇතුළත් ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම මා විසින් අගමැති මෝදි මැතිතුමා හට දැනුම් දුන්නා.
මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම, වර්ධනය සහ ස්ථාවරත්වය සඳහා ලබා දුන් අචල සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මැතිතුමාට සහ ඉන්දියානු රජයට ස්තුතිය පළ කළා.
අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ නායකත්වය සහ ඉන්දියාව ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහුගේ පරිවර්තනීය මුලපිරීම් මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි එතුමාගේ ඇති පෞද්ගලික මිත්‍රත්වය හේතුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ සවිබල ගැන්වීම යන ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලංකාවේ අපට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
“අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුවලට අනුකූලව අප රටේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියට සහ තිරසර ආර්ථික ගමනට ඉන්දියාව දක්වන පූර්ණ කැපවීම සහ සහයෝගයට අගමැති මෝදි මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සහ ස්ථාවරත්වය කරා ගමන් කරන අපගේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මා අගමැති මෝදි මැතිතුමාට පැහැදිලි කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ඉන්දියානු රජය දැක් වූ සහයෝගයට මා ස්තූති වන්ත වෙනවා.
දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර, ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වයට හානිදායක වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කිරීමට ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත වරක් තහවුරු කළා.
අන්‍යෝන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටු වීමට, එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටක සීමාවන් පිළිබඳ කොමිසම වෙත ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාවේ හිමිකම් පෑමට අදාළ ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා කඩිනමින් කැඳවීම සඳහා අගමැති මෝදි මැතිතුමාගේ මැදිහත්වීම මා ඉල්ලා සිටියා.
වර්ධනය, නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා ඉතා වැදගත් බහු- ක්ෂේත්‍රවල ඇති කර ගත හැකි ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳව අප සාකච්ඡා කළා. ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා – SLUDI ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 300ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීම සම්බන්ධයෙන් මා ඉන්දියානු රජයට ස්තුතිවන්ත වෙනවා.
අපගේ ආර්ථික සහ පුද්ගල සබඳතා අතර හවුල්කාරිත්වය ඇති කර ගැනීමේ දී සම්බන්ධ කතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප හඳුනාගත්තා. මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ලබා දුන් සහය වෙනුවෙන් මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ ස්ථාපනය කෙරෙන සංඥා පද්ධතිය සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 14.9 ක ණය පහසුකම ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙනුත් මා අගමැති මෝදි මැතිතුමාට ස්තූතිවන්ත වුණා.
Saru FM Media