වත්මන් රජය යටතේ භික්ෂූන් වහන්සේලාට අකටයුතුකම් සිදුවන බව පවසමින් පාගමනක් සූදානම් කිරීමට මූලිකත්වය ගෙන සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙයට වසර දෙකකට පෙර “ශ්‍රමණවේශදාරීන්ගෙන් බුදුදහමට නොගැලපෙන බොහෝ දේ” සිදුවන බව ප්‍රකාශ කර තිබේ.
උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් 2024 ජනවාරි 26 වෙනි දින අභයාරාමයේදී පවත්වන ලද උත්සවයට එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර එවැනි දුෂ්ශීල පිරිසගෙන් බුදුදහම රැක දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මහා සංඝරත්නය, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කර්මාන්ත සහ සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී කරවාගෙන්මේ පැවති එම වැඩසටහන පිළිබඳ පුවත එදින දෙරණ වෙබ් අඩවියේ පල කර තිබූ අතර උන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය ඉන් උපුටාගෙන පහත දැක්වේ.
”අද මාධ්‍ය හරහා වගේම ඇතැම් ශ්‍රමණ වේශධාරීන්ගෙන්ද බුදු දහමට නොගැළපෙන බොහෝ දේ සිදු වෙනවා. බණ පොතේ ඇති ආකාරයට බුද්ධත්වය ලැබීමට කල්ප කාලයක් පෙරුම් පිරිය යුතුයි. නමුත් දැන් එක්වරම බුදු වෙනවා, රහත් වෙනවා. මේවා බුද්ධ ශාසනයට ඉතා හානිදායකයි. මේ සම්බුද්ධ ශාසනයට සිදු කරන විපත නවතා දමන ලෙස රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. සංගායනාවක් හෝ පවත්වා ශාසන ශෝධනයක් සිදු කරන ලෙස මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අභයාරාමය කියන්නේ දේශපාලනඥයින් නිතර යන එන තැනක්. රටේ ලොකු ප්‍රචාරයක් තිබෙනවා දේශපාලනඥයෝ තමයි මේ අභායාරාමයට ආධාර කරන්නේ කියලා. නමුත් දේශපාලනඥයෙකු, රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් සිදු කළේ ඔබතුමා විතරයි. සැබෑ බෞද්ධයකු වශයෙන් ඒ කාර්යභාරය ඔබතුමා ඉෂ්ට කළා. වෙනත් කිසිම දේශපාලනඥයෙකු අභයාරාමයට උදව් කර නැති බව මම පැහැදිලිව කියනවා.
රජ්ජුරුවෝ නොවුණත් මේ රටේ නාමික රජතුමා ඔබයි. මම දන්නවා ඔබතුමා හිතුවොත් දෙයක් කරනවා. කියන දේ කරන පුද්ගලයෙක්. ගොඩක් සාකච්ඡා කළ යුතු නැහැ. අප යමක් කිව්වොත් එය පිළිගන්නවා. නමුත් මහා සංඝරත්නයේ යම් යම් ක්‍රියාකලාප සැබෑ බෞද්ධයින්ගේ සිත් වේදනාවට, කලකිරීමට පත් කරන බව කිව යුතුයි. මේ තත්ත්වයෙන් මිදෙන්න නම් මහා සංඝරත්නය පෙරදැරි කර ගෙන ශාසන සංශෝධනය සිදු කිරීම කඩිනමින් කළ යුතුයි. රටේ උන්නතිය වෙනුවෙන් මහා සංඝරත්නය පෙරමුණ ගත යුතුයි. එහි දී ඔබතුමාගේ සහාය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විවිධ මතවලින් ජනතාවගේ මනස විකෘති කරන බව පෙනෙනවා. ඒ පිළිබඳ ප්‍රබුද්ධ කතිකාවතක් ඇති කළ යුතුයි.
ශාසනය රැක ගැනීම, ජනතාව ආරක්ෂා කිරීම ආදි ඔබතුමාගේ සියලු යහපත් වැඩ කටයුත්තකදීම ඔබතුමා සමඟ මහා සංඝරත්නය සිටින බව මම මෙහි දී ප්‍රකාශ කිරීමට කැමතියි. පංච ශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම සිහිපත් කළ යුතු තවත් කාරණයක් තමයි අපේ හෙද සංගමයට නොමැකෙන කාර්යයක් ඉටු කර දෙමින් පළමුවෙන්ම හෙද නිලධාරීන්ට ඩිප්ලෝමාව ලබා දුන්නේ ඔබතුමායි. විශ්වවිද්‍යාලය පිළිබඳ කටයුතු පසුගිය කාලයේ රට මුහුණ දුන් ප්‍රශ්න නිසා ප්‍රමාද වුවත් ඔබතුමා එක පෑන් තුඩින් අත්සන් කර කැබිනට් එකට දැම්මා. මේ සියලු දේ අප හැමදාමත් අගය කරනවා. ”
1
Saru News










