මියන්මාරයේ හටගත් දරුණු භූමිකම්පාවෙන් දැඩි හානි සිදුවීමත් සමග එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
එරට භූ කම්පන බහුලව සිදුවන අතර, 1900 වසරේ සිට මේ හා සමාන විශාල භූකම්පන කිහිපයක් ම මියන්මාරයේ සිදුව ඇති බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
සිකුරාදා ඇතිවූ භූමිකම්පාවේ ප්‍රබලත්වය නිරිතදිග චීනයට සහ තායිලන්තයට ද දැනී ඇත.
පහතින් දැක්වෙන සිතියමෙන් පෙන්වා දෙන්නේ, මියන්මාරයේ හටගත් භූකම්පනයෙන් සිදුවූ සෙලවීමෙහි ප්‍රබලත්වය තායිලන්තය, චීනය මෙන් ම ඉන්දියාවට ද බලපෑ ආකාරයයි.
පෘථිවියෙහි පෘෂ්ඨය වෙනස් ආකාරයේ තැටි ගණනාවකට බෙදී ගොස් ඇති අතර ඒවා නිතර ම චලනය වෙයි.
මියන්මාරය පිහිටා ඇත්තේ එවැනි භූතැටි කිහිපයක් සම්බන්ධ වන ස්ථාන මතයි. ඒ හේතුවෙන් එරට භූචලන ක්‍රියාකාරීව පවතින කලාපයක් බවට පත්ව ඇත.
සිකුරාදා ඇතිවූ 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයට හේතුව වන්නේ, ඉන්දීය සහ යුරේසියානු භූ තැටි එකිනෙක මත ලිස්සා යෑමේ (strike slip faulting) සංසිද්ධිය බව USGS පෙන්වා දෙයි.
“මියන්මාරය පිහිටා තිබෙන්නේ ඉන්දීය උපමහාද්වීපයෙහි පැත්තකට වන්නයි. ඒ නිසා, ඉන්දියාව යුරේසියාව දෙසට තල්ලු වී යනවා (මෙහි ප්‍රතිඵලයක් ලෙසින් හිමාල කඳුවැටිය නිර්මාණය වුණා), මියන්මාරය එම පැත්තට වන්නට පිහිටා තිබෙනවා,” යනුවෙන් එක්සත් රාජධානියේ කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ භෞතික භූගෝල විද්‍යාව සහ ස්වාභාවික ආපදා පිළිබඳ සහකාර මහාචාර්ය මැතිව් බ්ලැකට් පැහැදිලි කර දක්වයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ නගරය ආසන්නයේ පිහිටා ඇති අතර, කිලෝමීටර් 10ක ගැඹුරින් චලනය සිදුව ඇතැයි USGS පවසයි.
6.4ක ප්‍රබලත්වයකින් යුත් පසුකම්පනයක් ද ඊට මිනිත්තු කිහිපයකට පසුව සිදුව තිබිණි.
Saru FM Media