මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
“ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි.
එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්
ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි.”
මෙම යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවත් හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
රටක් ලෙස මෙයට මුහුණදීමට වැඩපිළිවෙලක් සකස් කරගන්නා බවත් එය සිදුකර ගත හැකි වන්නේ සාමකාමී ලෝකයක් සඳහා ජාත්‍යන්තර සිදුකරනු ලබන කැපවීම තුළින් පමණක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුමට බාධා ඇති විය හැකි බවත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් ඇති වන බවද පැවසු ජනාධිපතිවරයා, සංචාරක කර්මාන්තයට, විදෙස් ප්‍රේෂණ , නාවික හා ගුවන් කර්මාන්තයන්ට ද බලපෑම් එල්ල වන බව පැවසීය.
කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මෙම යුදමය තත්ත්වය හමුවේ ලංකාවට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා විසඳුම් සොයාගත යුතු බවද පැවසූ ජනාධිපතිවරයා, අතීතයේ ඇති අමිහිරි අත්දැකීම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව කලබලයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බවද කියා සිටියේය.
Saru News













