සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් වැඩිදුර තොරතුරු අනාවරණය කර තිබේ.
ඉරානයේ නිෂ්පාදිත “ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බව X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා තහවුරු කළේය.
සයිප්‍රස් ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක කොටස්කරුවෙකු වීමට අදහස් නොකරන බව ඔහු අවධාරණය කළේය.
මෙම ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇක්‍රොටිරි කඳවුරේ රැඳී සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවය.
මේ අතර සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්කකර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාර එල්ල කිරීමට උත්සාහකළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නමුත් ප්‍රහාරය විනාශකිරීමට උත්සහා කිරීමත් නිසා සුන්බුන් විසිරීමත් සමඟ පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හට ගෙන තිබේ.
මේ හේතුවෙන් මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.
කුවේට් රාජ්‍යයේ ස්ථානගත කර ඇති අමෙරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතරවාරයේදී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින්, යානයේ එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.
එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩබැස ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහුව ආරක්ෂිතව බෙරාගෙන ඇති බව වාර්තා වේ.
නමුත් එම කඩා වැටුණු යානයේ සිටි අවි පද්ධති ක්‍රියාකරුගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද සඳහන්.
මෙම යානය කඩා වැටීමට හේතුව ඉරාන මිසයිල ප්‍රහාරයක්ද, නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.
අමෙරිකා – ඊශ්‍රායට ඒකාබද්ධව ඉරාණයට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව මේ වන විට අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා සිටින බව අමෙරිකානු ආරක්ෂක අංශ විසින් නිවේදනය කර තිබුණි.
📌සබැඳි පුවත්
Saru News













