Saturday, May 24, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මාස 6 කින් සුව නොවන බෙල්ලෙ උලුක්කුවක් ගැන ඇමරිකන් වෛද්‍ය වාර්තා පෙන්වා...

මාස 6 කින් සුව නොවන බෙල්ලෙ උලුක්කුවක් ගැන ඇමරිකන් වෛද්‍ය වාර්තා පෙන්වා බැසිල් නඩුවට නොඑයි

0
5


basil-refuses-to-appear-in-court-citing-american-medical-reports-about-a-neck-sprain-that-will-not-heal-in-6-months

මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් රුපියල් කෝටි පහකට මිලදී ගැනීමේ නඩුවට සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නොපැමිණියේ ඇමරිකාවේ දී සිදුවූ අනතුරක් හේතුවෙන් බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ මහතා පුටුවකින් ඇද වැටී අනතුරකට ලක්ව ගෙල සහ ස්නායු ආශ්‍රිත ආබාධ ඇතිව ඇති බව ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ හේතුවෙන් මාස හයක කාලයක් ගුවන් ගමන්වල නොයෙදෙන ලෙස ඇමරිකානු වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවද ඔහු පැවසීය.


බැසිල් රාජපක්ෂ මහතා මේ වර්ෂයේ මැයි මාසයේ 18 සහ 19 වැනි දිනවල ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් වෙන් කර තිබුණද මෙම අනතුර හේතුවෙන් ඒවා අවලංගු කර ඇති බව නීතිඥවරයා අධිකරණයට පැහැදිලි කළේය.
කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මෙම වෛද්‍ය වාර්තාවල විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා සිටියාය. ඇය පැවසුවේ එක්ස් කිරණ වාර්තා අනුව බෙල්ලේ සුළු උලුක්කුවක් සහ මාංශ පේශිවල සුළු ඇදීමක් පමණක් තිබෙන බවත් එය සති දෙකකින් සුව වන බවත් වෛද්‍යවරුන් සඳහන් කර ඇති බවයි.
2025 මාර්තු මාසයේ 18 වැනිදා නිකුත් කර ඇති වෛද්‍ය වාර්තාවේ මාස හයක ගුවන් ගමන් තහනමක් සඳහන් වී ඇත්නම් මැයි මාසයේ ගුවන් ටිකට් වෙන් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.
ඊට පිළිතුරු දෙමින් නීතිඥ අනිල් ද සිල්වා මහතා පැවසුවේ ඇමරිකානු වෛද්‍ය වාර්තා විශ්වසනීය බවත් ඊළඟ නඩු දිනයේ තම සේවාදායකයා අධිකරණයට පැමිණෙන බවත්ය.


සිය සේවාදායකයාගේ අසනීපය සම්බන්ධයෙන් සැක කිරීම සුදුසු නොවන බව ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළේය.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසු තීරණය කළේ ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් නොකරන බවයි. මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු අධිකරණයේ පෙනී සිටි නඩුවක් බවත් ඒ නිසා ඇප අවලංගු කිරීමක් නොකරන බවත් ඔහු පැවසීය.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන නොවැම්බර් මාසයේ 21 වැනිදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.


මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුවේ වැඩිදුර විභාගය එම දිනයේ දී සිදු කෙරේ.
නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයාගත් රුපියල් කෝටි පහක මුදලකින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
අධිකරණ කටයුතුවලදී ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු පෙනී සිටි අතර බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති මහත්මිය අධිකරණයේ නොපැමිණියහ. බැසිල් රාජපක්ෂ මහතාට 2024 සැප්තැම්බර් 18 වැනිදායින් විදේශගත වීමට අවසර ලබා දී ඇති අතර එම අවසරය ඊයේ දක්වා වලංගු වී තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here