ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතාට උස් හඬින් කතා කළැයි චෝදනා පත්‍රයක් සකස් කරමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ස්ථානමාරු යැවීමේ සිද්ධියක් අද (10) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබේ.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය (07) මෙම ස්ථානමාරු කිරීමේ නියෝගය ලබාදී ඇත.
මෙලෙස ස්ථානමාරු කර යවා ඇත්තේ යටියන්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි නමැති නිලධාරියාවය.
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ දැඩි බලපෑම මත මෙම ස්ථානමාරුව සිදුකර ඇති බව එම පුවත්පතේ සඳහන් වේ.
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම නියෝග හා ඉල්ලීම් නොපිළිගන්නා බවත්ය.
ඒ පිළිබඳව ස්ථානාධිපතිවරයා සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව එම සිදුවීම මූලික කරගනිමින් තවත් චෝදනා මාලාවක් සහිත වාර්තාවක් සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක විසින් sw/s/05/15/2026 අංක දරන ලිපිය පසුගිය පෙබරවාරි 18 වැනිදා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
එමගින් මෙම නිලධාරියාව ස්ථාන මාරු කර යවන ලෙසද නිර්දේශ කර ඇත.
මෙම නිලධාරියා සම්බන්ධයෙන් වන එකඳු චෝදනාවකට හෝ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කිසිඳු නිදහසට කරුණු විමසීමක් හෝ විමර්ශනයක් නොකොට අදාළ ස්ථාන මාරුකිරීමේ ඉල්ලීම කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. එය අනීතික ක්‍රියාවක් බවද එම ආරංචිමාර්ග කියා සිටියි.
අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් දුරකථන මගින් ලබාදෙන අනීතික නියෝග ගණනට නොගැනීම හා එවන් නියෝගවලදී උස් හඬින් කතා කිරීම මෙම ස්ථානමාරුව ලබාදීමට ආසන්නම හේතුව වී ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටියි.
දේශපාලන උවමනාවන් මත පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ස්ථාන මාරුකර යැවීම වැරැදි සහගත ක්‍රියාකලාපයක් බව යටියන්තොට පොලිසියේ නිලධාරීහු සඳහන් කරති.
මූලාශ්‍රය – අරුණ
Saru News
















