ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණයවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් මෙම අවපීඩන තත්ත්වය ඉදිරි සතිය තුළ සුළිකුණාටුවක් ලෙස නිර්මාණය වීමේ සම්භාවිතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
මේ අතර අද (16) රාත්‍රී කාලයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකයි.
එමෙන්ම හෙට (17) සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව එහි දැක්වෙයි.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Saru News








