බහාලුම් 323 ගැන විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමට තීරණයක්

0
12

කොළඹ වරායෙන් බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එම විමර්ශන කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සඳහා මෙම කාරක සභාව සෑම බදාදා දිනකම පස්වරු 2.00ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් 2026 ජනවාරි 21 දින මෙම කාරක සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය. 

ඒ අනුව, කාරක සභාව නැවත 2026 ජනවාරි 28 වැනි බදාදා පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

මෙම පළමු රැස්වීමේදී කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ විමර්ශන සඳහා කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරුන් සිය අදහස්ද පළ කළහ. 

විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම කාරක සභා රැස්වීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here