පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම සඳහා මූලික අධ්‍යයනයක් සිදුකිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා එකඟතාව පළ කර තිබේ.
ඒ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැති නිළ සාච්ඡාවක දී ය.
පෘතුගීසි පාලනය සමය තුළ ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා කළ යෝජනාවට එකඟතාව පළ කරමින් Paulo Rangel මහතා ප්‍රකාශ කළේ මෙය පිළිගත යුතු යෝජනාවක් බවත් මේ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට එකඟතාව පළ කරන බවත්ය.
දැනට ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර අත්සන් කර ඇති සංස්කෘතික ගිවිසුම බලාත්මක කර මීට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කල නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම පෘතුගාලය සඳහා වීසා ලබාගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් නවදිල්ලයට යාමට සිදුවීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මගහරවා ගැනීමට පහසු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ද අමාත්‍ය විජිත හේරත් යෝජනා කළේ ය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට Paulo Rangel මහතා පොරොන්දු වී තිබේ.
Saru News
















