රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ LNW :
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැති නිළ සාච්ඡාවකදී, පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීමට මූලික අධ්‍යයනයක් සිදුකිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා එකඟතාව පළ කර තිබෙන බව වාර්තා වේ.
පෘතුගීසි පාලනය සමය තුළ ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා කළ යෝජනාවට එකඟතාව පළ කරමින් Paulo Rangel මහතා ප්‍රකාශ කළේ මෙය පිළිගත යුතු යෝජනාවක් බවත් මේ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට එකඟතාව පළ කරන බවයි.
දැනට ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර අත්සන් කර ඇති සංස්කෘතික ගිවිසුම බලාත්මක කර මීට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවී ඇත. එමෙන් ම පෘතුගාලය සඳහා වීසා ලබාගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් නවදිල්ලයට යාමට සිදුවීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මගහරවා ගැනීමට පහසු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ද අමාත්‍ය විජිත හේරත් යෝජනා කළ අතර, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට Paulo Rangel මහතා පොරොන්දු වී තිබේ.
දෙරටේ ඓතිහාසික සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් සංස්කෘතික හා මානව සබඳතා වර්ධනය කිරීමටත් විදේශ අමාත්‍යවරු දෙපළ අතර පැවැති මෙම නිළ හමුවේ දී සාකච්ඡා කෙරුණ බව පැවසේ. පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ආයෝජන, වෙළඳ, හා සංචාරක ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත් දෙරට අතර වැඩපිළිවෙලක් සකස් කිරීමට එකඟවීමත් මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙන වව සඳහන් වේ.
තවදුරටත් මෙම සාකච්ඡාව අතරතුර දිට්වා සුළිකුණාටුවෙන් පසු හදිසි ආපදා සහන සැලසීම සඳහා පෘතුගාලය සිදුකළ උපකාර වෙනුවෙන් ද අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළකළ බව වාර්තා වේ.
එමෙන් ම නැවත ගොඩනැගීමේ කාර්යයට තවදුරටත් පෘතුගාලයේ සහාය ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළාය.

The post පෘතුගාල විදේශ ඇමතිට ඇමති විජිතගෙන් යෝජනාවක්! appeared first on LNW Sinhala.
Saru News














