පුංචි ජන්දේ ප්‍රතිඵල නිකුත් වෙන හැටි මෙන්න!

0
8


කොළඹ LNW:මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් ඒ ඒ පළාත් පාලන ආයතන සතුව කොට්ඨාස කිහිපයක් බෙදී ඇති නිසා එම ඡන්ද මධ්‍යස්ථානයේ දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීම සඳහා අදාළ පියවරයන් ගෙන ඇති බවය.

ඒ අනුව එක කොට්ඨාසයක් ඇතුලේ ඇත්තේ එක ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්ද ගණන් කිරීම සිදුකරන අතර ප්‍රතිඵලය ඒ ස්ථානයේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එක කොට්ඨාසයක් තුළ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඇත්නම් සමහර ස්ථානවල ඡන්ද පොලේදීම ඡන්දය ගණන් කිරීමට කටයුතු යොදා ඇති අතර ඡන්දය ගණන් කර ප්‍රතිඵල ලේඛණය පමණක් කොට්ඨාසයේ ඇති ප්‍රතිඵල ප්‍රකාශ කිරිමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ගෙන එනු ඇති.

තවත් එක ක්‍රමයක් ලෙස කොට්ටාසය ඇතුළේ ඇති සියලුම ඡන්ද පෙට්ටි පස්වරු 4න් පසු ප්‍රතිඵළ නිකුත් කරන මධ්‍යස්ථානයට රැගෙන විත් ජන්ද පෙට්ටි වෙන වෙනම ගණන් කර මධ්‍යස්ථානයේදී කොට්ඨාසයේ ප්‍රතිඵලය සකස් කිරීමයි.

මේ සඳහා කොට්ඨාස තේරීම් භාර නිලධාරී ලෙස විශේෂ නිලධාරියෙක් නම් කර තිබෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී සම්පූර්ණ වගකීම ඇත්තේ ප්‍රධාන ඡන්ද ස්ථානාධිපතිවරයාටයි.

”කොට්ඨාසයේ තියෙන ප්‍රතිඵල නිකුත් කරන මධ්‍යස්ථානයේදී ඒකේ කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරනවා. එතැනදි වෙන්නේ ඒ ඒ කොට්ඨාසයේ වැඩිපුර ඡන්ද ලබාගත්තු දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම නම් කරනවා. ඒක සිදු කෙරෙන්නේ ඒ ඡන්ද මධ්‍යස්ථානයේදීමයි. ඉන් අනතුරව එහි එක පිටපතක් ප්‍රදර්ශනය කරනවා එතන ඉන්න අයගේ දැන ගැනීම සඳහා. ඉන් අනතුරු කලාපය භාර තේරීම් භාර නිලධාරිවරයා විසින් එහි මුල් පිටපත රැගෙන යනවා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා ලඟට.” යනුවෙන් සභාපතිවරයා පවසයි.

මේ අතර එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති අතර එහිදී ප්‍රතිඵල සියල්ල එක් කර පළාත් පාලනයේ මුළු ප්‍රතිඵලය සකස් කෙරෙනු ඇති.

එහිදී එක් එක් දේශපාලන පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව තීරණය කිරීම සිදුවෙයි.

”ඒ වගේම සමානුපාතික නියෝජනය යටතේ එක් එක් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාවත් තීරණය කරනවා. ඒ කරලා ඒ පළාත් පාලන ආයතනයේ අවසන් ප්‍රතිඵලය සකස් වෙනවා. ඒ ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාවට එවනවා. මැතිවරණ කොමිසන් සභාව විසින් අනුමත කළාට පසුව තමයි දිස්ත්‍රික්කයෙන් ඒ පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්නේ.” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here