පිරිවෙන්වලටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්

0
9

ඉදිරි මාස දෙක තුන තුළ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ පවසති.

නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සර උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එහිදී අනුශාසනාව සිදුකරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පිරිවෙන් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ ප්‍රකාශ කළේ, වර්තමානයේ රට තුළ බොහෝ ලෙස කතාබහට ලක්ව ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය බවය.

මෙතෙක් කාලය පුරා පිරිවෙන් අධ්‍යාපනය සඳහා නිශ්චිත පනතක් හෝ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොතිබූ බවත්, එම හිඩසය පුරවා ගනිමින් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැන් කටයුතු ආරම්භ කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

මහානායක හා අනුනායක හිමිවරුන්ගේ මූලික අනුමැතිය යටතේ මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කරමින් පවතින අතර, ඉදිරි මාස දෙක තුළ එය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළහ.

මෙම ප්‍රතිසංස්කරණය තුළින්, රටේ සංඝරත්නය සහ විද්වත් පිරිස ඉල්ලා සිටින පරිදි, පැරණි සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය බෞද්ධ දර්ශනය, ත්‍රිපිටක ධර්මය, පාලි සහ සංස්කෘත භාෂා ඇතුළු පිරිවෙන් අධ්‍යාපන උරුමය නැවත ශක්තිමත් ලෙස හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ අවධාරණය කළහ.

ඒ හරහා පෞරුෂවත්, ධර්මධර හා භාෂාන්තර විශාරද භික්ෂූන් වහන්සේලා බිහි කිරීමට පිරිවෙන් අධ්‍යාපනයට විශාල වගකීමක් පවතින බව ද උන්වහන්සේ පැවසූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here