වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට තුළ රැඳී සිට අන්තර්ජාලය හරහා නීති විරෝධී අයුරින් පිරමීඩ මුදල් වංචාවේ යෙදුණු චීන ජාතිකයන් 16 දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සමග ලැෆ්ටොප් පරිගණක 23 ක් ජංගම දුරකථන 11 ක් රවුටර් 07 ක් හඬ පරිවර්තන යන්ත්‍ර 09 ක් හා විදෙස් දුම් වැටි 3280 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ 05 ජාවත්ත පාරේ නිවෙසකට මීට දින කීපයකට ඉහතදී තාවකාලිකව පදිංචියට පැමිණි චීන ජාතිකයන් පිරිසක් කිසියම් නීති විරෝධී කටයුත්තක යෙදෙන බවට කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතා ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 16 දෙනා සන්තකයේ තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ද හමුවී ඇත.
ඔවුන් රැඳී සිටි ස්ථානය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී ලැප්ටොප් පරිගණක සහ සෙසු දේපළ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
මෙම සැකකාර චීන ජාතිකයන් මෙරට රැඳී සිටිමින් විදේශීය රටවල් හා සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයන් මුළා කර පිරමීඩ ජාවාරමේ යෙදෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 23-40 අතර පසුවන සැකකාර චීන ජාතිකයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Saru News
















