Friday, May 16, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පැතිරගිය පැපොල නිසා පීඩාවට පත් රිජ්වේ ආර්යා රෝහල් ස්ටාෆ් එක එන්නත් නිසා...

පැතිරගිය පැපොල නිසා පීඩාවට පත් රිජ්වේ ආර්යා රෝහල් ස්ටාෆ් එක එන්නත් නිසා බේරේ

0
6


lady-ridgeway-hospital-staff-affected-by-chickenpox-outbreak-saved-by-vaccination

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්යමණ්ඩලය අතර පැතිර යාමට පටන්ගත් පැපොල (චිකන්පොක්ස්) රෝගය සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් හරහා මර්දනය කර ගැනීමට හැකි වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා ප්‍රකාශ කරයි.

වෛද්‍ය සේනාපති මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළදී රෝහලේ කාර්යමණ්ඩලයේ පස් හය දෙනෙකු පැපොල රෝගයට ගොදුරු වූ බවත්, එම රෝගය රෝහල පුරා පැතිරීම වැළැක්වීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.
 රෝගය වැළඳුණු පුද්ගලයන් සමඟ ආශ්‍රය කළ කාර්යමණ්ඩලයේ සේවකයන් දහ දෙනෙකු පමණ හඳුනාගෙන ඔවුන්ට පැපොල මර්දන එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.


මෙම ඉක්මන් ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමට හැකි වූ බව ඔහු අවධාරණය කළේය.
රෝහලේ කාර්යමණ්ඩලයේ ඇතැම් පිරිස් පෙර දී මෙම එන්නත ලබාගෙන තිබූ අතර, සමහර සේවකයින්ට අතීතයේදී මෙම රෝගය වැළඳී නිසි ප්‍රතිශක්තිය ලැබී ඇති බව වෛද්‍ය සේනාපති මහතා පැහැදිලි කළේය. මෙවැනි ප්‍රතිශක්තිය ලැබූ පුද්ගලයන්ට නැවත පැපොල මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් ඔවුන්ට එන්නත ලබාදීමෙන් වැළකී සිටි බවත් ඔහු පවසා සිටියේය.
රෝහලේ කාර්යමණ්ඩලය 2,500ක් පමණ වන බවත්, ඔවුන්ට මේ රෝගය ආසාදනය වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ කටයුතු අඩාල වීමට ඉඩ ඇති බවත් වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා අවධාරණය කළේය. මෙය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දිනපතා විශාල රෝගී සංඛ්‍යාවකට සේවා සපයන බැවිනි.
රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයෙන් දිනකට රෝගීන් 1,200ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා බවත්, රෝගීන් 700ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවත් වෛද්‍ය සේනාපති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


එබැවින් රෝහල් කාර්යමණ්ඩලය අතර රෝගය පාලනය කිරීම ඉතා වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
පැපොල රෝගය පිළිබඳව වැඩිදුර විස්තර කරමින් වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පැවසුවේ, මෙය වැරිසෙලා සොස්ටර් නම් වයිරසය මඟින් හට ගන්නා රෝගයක් බවත්, පුද්ගලයකු තුළ මෙම වයිරසය දින 10 සිට 21ක් දක්වා පවතින බවත්ය. පැපොල රෝගය ප්‍රධාන වශයෙන් ආසාදිත රෝගියකුගේ නාසයෙන් පිටවන බිඳිති මඟින් ව්‍යාප්ත වන බව ද ඔහු පැහැදිලි කළේය.
රෝගී තත්ත්වය හඳුනාගැනීමෙන් පසු රෝහල් කළමනාකාරිත්වය විසින් ගත් ඉක්මන් පියවර හේතුවෙන් රෝගය පුළුල් ලෙස පැතිරීම වැළැක්වීමට හැකි වූ අතර, රෝහලේ සාමාන්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වී ඇති බව රෝහල් පරිපාලනය සඳහන් කරයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here