පැට්‍රිස් ලුමුම්බා ඝාතන නඩු විභාග තීරණය බෙල්ජියම් අධිකරණයට පැවරේ! – Saru News | සිංහල

0
12

1961 ජනවාරි 17 වනදා කොංගෝවේ දී පැට්‍රිස් ලුමුම්බා ඝාතනය වූයේ ලොව සියළුම යටත්විජිත වාදයට විරුද්ධව සටන් කරන විමුක්ති වාදීන්ගේ හා ජනතාවගේ දුක් සෝ සුසුම් මධ්‍යයේය. ජිවත්ව සිටි ලුමුම්බාට වඩා මරා දැමු ලුමුම්බා තව දුරටත් ලොව පුරා ජනතාවගේ සිත් සතන් තුල අදටත් ශක්තිමත් වෙමින් පවතින්නේ නව යටත් විජිතවාදයට, අධිරාජ්‍යවාදයට එරෙහිව ලොව පුරා පමණක් නොව, යුරෝපා ආණ්ඩු තුලින්ම විරෝධයක් මතු වෙමින් තිබෙන යුගයකය. විශේෂයෙන් ග්‍රීන්ලන්තය, වෙනිසුවේලාව, මෙක්ෂිකෝව, කියුබාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත් වීම හේතුවෙන් බටහිර මාධ්‍ය ඉතා දැඩි අධිරාජ්‍ය විරෝධී හඬක් තම මාධ්‍ය තුලින් මතු කරමින් සිටින්නේ තමන් අත්දුටු පළමු හා දෙවන ලෝක මහා යුද්ධයන් හේතුවෙන් විනාශ වූ ජීවිත හා දේපල විනාශයන් ද යලි යලිත් මතක් කරමිනි.

1960 ජුනි 30 වන දින නිදහස ලැබූ හිටපු බෙල්ජියම් කොංගෝවේ පළමු රජයේ ප්‍රධානියා වූ පැට්‍රිස් ලුමුම්බා 1960 සැප්තැම්බර් මැද භාගයේදී කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කරන ලදී. පසුව ඔහුව එරට කටන්ගා (දකුණේ) බෙදුම්වාදී කලාපයට ගෙන යන ලද අතර එහිදී ඔහු සහ සගයන් දෙදෙනෙකු 1961 ජනවාරි 17 වන දින බෙල්ජියම් කුලී හේවායන්ගේ සහාය ඇතිව බෙදුම්වාදීන් විසින් ඝාතනය කරන ලදී. ඔහුගේ සිරුර ඇසිඩ් වල දියකර හැර තිබුණ අතර කිසිදා සොයා ගැනීමට ද නොහැකි විය. පැට්‍රිස් ලුමුම්බා ඝාතණය කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති අයිසන් හවර් වෙතද පසුව චෝදනා එල්ල වුණි. 2007 ජුනි 21 වන දින CIA සංවිධානය සතු ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ඇමරිකාව ලුමුම්බා ඝාතනය කිරීමට සැලැස්මක් සකස් කළ බව ලොවට ප්‍රථම වරට හෙළි විණි.

ඒ අනුව පැට්‍රිස් ලුමුම්බා ඝාතනයෙන් වසර හැටපහකට පසු, ලුමුම්බා ගේ පවුලට “යුක්තිය සහ සත්‍යය” ලබා ගැනීමට බ්‍රසල්ස් හි බෙල්ජියම් අධිකරණ පද්ධතිය 2026 ජනවාරි 20 වන අඟහරුවාදා, මෙම ඝාතණය පිලිබඳ අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු කරනවද යන්න සම්බන්ධයෙන් විමර්ශනයේ දී ඒ සඳහා අවශ්‍ය නියමිත නීතිමය ක්‍රියාමාර්ග නැවත වරක් පරීක්ෂා කළේය.

2001 දී බෙල්ජියම් පාර්ලිමේන්තු කොමිසමකින් තීරණය කරනු ලැබුවේ ලුමුම්බා ඝාතනය පිලිබඳව බෙල්ජියමට එහි “සදාචාරාත්මක වගකීමෙන් බැහැර විය නොහැකි බවයි. ඉන්පසුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පළමු අගමැතිගේ මරණයට පුද්ගල වගකීම පිළිබඳ පරීක්ෂණයක් 2011 දී ආරම්භ විය. “යුද අපරාධ” පිළිබඳ මෙම විමර්ශනයේ කොටසක් ලෙස, බෙල්ජියම් පොලීසිය විසින් 2016 දී පැට්‍රිස් ලුමුම්බාට අයත් දතක් අත්අඩංගුවට ගත්හ. එය 2022 දී බ්‍රසල්ස් හි පැවති නිල උත්සවයකදී මිනී පෙට්ටියක දමා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට ආපසු ලබා දෙන ලදී. 1961 දී ලුමුම්බා ඝාතනයෙන් පසු ඔහුගේ දේහය අතුරුදහන් වීමට සහභාගී වූ දැනට මියගිය බෙල්ජියම් පොලිස් නිලධාරියෙකුගේ දියණියගෙන් ඔහුගේ මෙම දත අත්පත් කර ගෙන තිබුණි.

එම දන්තය යලි කොංගෝවට ලබා දීමේ දී සංවිධානය කල සංහිදියාව සඳහා වූ උත්සවයේදී, එවකට බෙල්ජියම් අගමැති Alexander De Croo අතුරුදහන් වීම සම්බන්ධයෙන් බෙල්ජියම විසින් නිල වශයෙන් පිළිගත් තම “සදාචාරාත්මක වගකීම” සඳහා 2002 දී ෆෙඩරල් රජය විසින් දැනටමත් නිකුත් කර ඇති “සමාව අයැදීම” නැවත අවධාරණය කළේය. මෙම “භයානක” හා පිළිකුල් සහගත ඝාතනය සිදු වූ ආකාරය දෙස ආපසු හැරී බලන විට, බෙදුම්වාදී කටන්ගාව විසින් කොංගෝවේ නව ස්වාධීන බලය මෙහය වූ ලුමුම්බාගේ රජය පිලි ගැනීම ප්‍රතික්ෂේප කරමින්, ඔහුට එරෙහිව සිදු කල කුමන්ත්‍රණය “නොදැකීමට” සහ කිසිදු පියවරක් නොගැනීම තෝරා ගත්” බෙල්ජියම් නිලධාරීන් වෙත ද ඔහු තම විරෝධය පල කළේය.

ලුමුම්බා ඝාතණයෙන් වසර 65 කට පසුව බෙල්ජියමේ එක් මිනිසෙකු පමණක් තවමත් අපරාධකාරී ලෙස වගකිව යුතු බවට සැකකෙරෙන, එවකට කොංගෝවේ බෙල්ජියම් රජයේ රාජතාන්ත්‍රිකයෙකු ලෙස සේවය කල 93 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන Etienne Davignon වෙත චෝදනා එල්ල වී ඇත. ලුමුම්බා ගේ පුතෙකු වන François Lumumba හා ඔහුගේ දරුවන් කිහිප දෙනෙකු විසින් 2011 දී බ්‍රසල්ස් හි ගොනු කරන ලද පැමිණිල්ලේ නම් කරන ලද බෙල්ජියම් සිවිල් සේවකයින්, පොලිස් නිලධාරීන් හෝ බුද්ධි අංශ නියෝජිතයන් දස දෙනා අතරින් ජීවතුන් අතර සිටින්නේ ඔහු පමණි. සිදුවීම් සිදුවන අවස්ථාවේ බෙල්ජියම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීම සඳහා පුහුණු වූ ඔහු පැට්‍රිස් ලුමුම්බා සිරගත කරන විට “නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ මාරු කිරීම” සම්බන්ධයෙන් අත්සන් කරන ලද ලිපි ලේඛණ වලට ඔහු වග කිව යුතු බවට සැක කරන බව එරට ෆෙඩරල් අභිචෝදක කාර්යාලය පිලි ගත් අතර 2025 ජුනි 16 වන දින නඩුව අවසන් කරමින් “යුද අපරාධ”, යුද සිරකරුවෙකු නීති විරෝධී ලෙස මාරු කිරීම, අපක්ෂපාතී නඩු විභාගයකට ඇති අයිතිය අහිමි කිරීම, නින්දා සහගත සහ අවමන් සහගත සැලකීම යන චෝදනා යටතේ ඔහු බ්‍රසල්ස් අධිකරණය ඉදිරියේ නඩු විභාගයකට යවන ලෙස ද ඉල්ලා සිටියේය.

නමුත් Etienne Davignon මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර එම යුගයේ බෙල්ජියම් බලධාරීන්ගේ සාමාජිකයෙකු නොවන බවට නිදහසට කරුණු ඉදිරිපත් කරනු ලබයි. ඔහුගේ නීතිඥයන් පවසන්නේ චෝදනා නිෂ්පල හා කල් ඉකුත් වී ඇති අතර චෝදනා ගොනු කර ඉදිරිපත් කිරීම සඳහා කාලරෝධය හරස් වී ඇති බවයි. නමුත් පැමිණිල්ලේ නීතිඥයන් පවසන්නේ 1949 නියුරම්බර්ග් නඩු විභාගයේ සිට යුධ අපරාධ, මානවවාදයට එරෙහිව සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී කලාරෝධය නිමිත්තක් ලෙස ඉදිරිපත් කල නොහැකි බවයි. එසේම නාසි නායකයින්ට එරෙහිව නියුරම්බර්ග් නඩු විභාග ආරම්භ වූ දා සිට, ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ බරපතල හා  දරුණු අපරාධ ලෙස සැලකෙන අතර ඒවා දඬුවම් නොලබා නිදහස් වීම වැළැක්වීම සඳහා කාල සීමාවකින් තොරව ඒවා විභාග කළ හැකි බව ජාත්‍යන්තර නීති විශේෂඥයන්ගේ මතයයි. කෙසේවෙතත් මූලික විමර්ශනයේ අවසානය තහවුරු කරමින්, බ්‍රසල්ස් අධිකරණයේ පූර්ව නඩු විභාග මණ්ඩලය එහි තීරණය සාකච්ඡා කිරීමට පෙර පසුගිය ජනවාරි 20 වන අඟහරුවාදා උදෑසන විවිධ පාර්ශවයන්ගෙන් තර්ක ඇසීම ආරම්හ කරන ලදී. කෙසේවෙතත් අධිකරණයේ අවසන් තීරණය අභියාචනයට ලක් කිරීමේ අයිතිය ද චුදිතයාට ඇත.

ලුමුම්බා පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ Christophe Marchand පවසන්නේ චෝදනාවට ලක් වූ නිලධාරීන් පිරිස අතර, එවකට වයස අවුරුදු 30 ක් නොවූ, අභිලාෂකාමී රාජ්‍ය තාන්ත්‍රික Etienne Davignon ලුමුම්බා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් පිළිබඳ සාකච්ඡාවල පෙරමුණ ගෙන සිටි බවට ඔප්පු කිරීමට අවශ්‍ය ද්‍රව්‍යමය සාක්ෂි පැමිණිලි පාර්ශ්වය සතුව ඇති බවයි.

“ඝාතනයට පෙර, අත්අඩංගුවට ගැනීම, ප්‍රවාහනය කිරීම, වධහිංසා පැමිණවීම් සිදු වුනා. මේ සියල්ල යුක්තිය ඉදිරියට ගෙන යා යුතුයි. එම ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය වූ රාජතාන්ත්‍රික ටෙලෙක්ස් ලේඛනවලට අත්සන් කර ඇත්තේ  Etienne Davignon විසින්මයි. මේවා ඔහු විසින්ම කටන්ගා වෙත ලුමුම්බා ඝාතනය කිරීම සඳහා ඔහුව යැවීම සංවිධානය කිරීම සඳහා බ්‍රසල්ස් සහ කොංගෝවේ අනෙකුත් ප්‍රදේශවලට යවන ලද ලේඛන ද එහි අඩංගුව පවතිනවා. එම ලේඛනවල ඝාතණය සඳහා යන්න කිසි විටෙකත් පැහැදිලිව සඳහන් කර නොතිබුණද, නමුත් “සිදුවීමට යන්නේ එය බව සියලු දෙනා දැන සිටියා” කියන චෝදනාවෙන් ඔහුට ගැලවීමක් නෑ. මෙම අධිකරණ ක්‍රියා මාර්ගය යටත් විජිත සමය තුල සිදු වූ අතිෂයින් කෘර අපරාධයක් නිවැරදි කිරීම සඳහා ගන්නා වූ ඉතා වැදගත් පියවරක්. එවැනි අපරාධ කාලයේ වැලි තලාවෙන් වැසී දැමීමට ඉඩ දිය යුතු නෑ ”යයි Christophe Marchand නීතිඥ වරයා මාධ්‍යයට යලි අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය නියෝජනය කරමින් පැට්‍රිස් ලුමුම්බා ගේ තවත් මුණුබුරන් පස් දෙනෙකු සමඟ අධිකරණයට පැමිණ සිටි YEMA LUMUMBA මාධ්‍ය වෙත.

 “පළිගැනීමේ ප්‍රශ්නයක් මෙහි නැත. අපි අපේක්ෂා කරනුයේ සැබවින්ම අප ඉදිරිපත් කර ඇති කරුණු මත පදනම් වූ අධිකරණ තීන්දුවක්. අපට යා යුතු තැන දැන ගැනීමට නම් අප පැමිණෙන්නේ කොහෙන්දැයි අප දැනගත යුතු අතර, අප පැමිණෙන්නේ කොහෙන්ද යන්න අප සොයා ගත යුතුයි. ඒ අපගේ මුතුන් මිත්තන් නිර්මාණය කල ඉතිහාසයයි. එම ඉතිහාසය තුළ, අපගේ සීයා අර්ධ වශයෙන් ලියූ “ලුමුම්බාගේ කතාව” එහි ඇත. එය යුක්තිය සඳහා වූ අපගේ දෙමව්පියන්ගේ වසර ගණනාවක් පුරා සිදු කල අරගලයේ ගවේෂණයක්. එනම් එය සත්‍යය දිනා ගැනීම සඳහා සිදු කල ගවේෂණයක්. මෙම අරගලය දිගටම පවතින බව පෙන්වීම අපට වැදගත්. එහි අවසානය දක්වා සටන් කරන බව සහතික කිරීම සඳහා අපි එම අරගලයේ ජයග්‍රහණය තෙක් රැඳී සිටිමු”යයි පවසා සිටියේය.

ඉන් පසුව බ්‍රසල්ස් අධිකරණයේ පූර්ව නඩු විභාගය, මහ ජනයාගේ සහභාගිත්වය නොමැතිව, චුදිතයා හා පැමිණිල්ලේ සාමාජිකයින් ඉදිරිපිට තම විමර්ශණය ආරම්හ කරන ලදී. ඒ අනුව අපරාධ අධිකරණය ඉදිරියේ නඩු විභාගයක් ආරම්භ කරනවාද නැද්ද යන්න පිළිබඳව බ්‍රසල්ස් අපරාධ අධිකරණයේ අවසන් තීරණය මාර්තු 17 වන දින ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2022 ජනවාරි 18 වන දින, මෙම අපරාධය විමර්ශන කරනු ලබන විනිසුරුවරයා පාර්ලිමේන්තුවේ තබා ඇති, නමුත් ප්‍රසිද්ධ නොකළ ඝාතණය සම්බන්ධයෙන් වූ රහස් ලේඛන අත්පත් කර ගැනීමක් හරහා ඒවාට ප්‍රවේශය වීමට අවසර ඉල්ලා බෙල්ජියම් ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් රහස්‍ය ලේඛන අත්පත් කර ගැනීම සඳහා වූ සෝදිසි වරෙන්තුවක් නිකුත් කරන ලදී. නමුත් මන්ත්‍රී මණ්ඩලයේ කථානායක එලියන් ටිලියක්ස් එම ලේඛණ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වූ අතර, පසුව ඒවා රහස්‍ය ලේඛන පාර්ලිමේන්තුවේ මුද්‍රා තබා ඇත.මෙම නඩු විභාගය 2011 සිට විවිධ බාධාකිරීම් ඔස්සේ ඇදී එන අතර යම් ආකාරයකින් Etienne Davignon මිය ගියහොත් හෝ නීතිය හමුවට පමුණුවනු නොලැබුවහොත් ලුමුම්බා පවුල බෙල්ජියම් රජයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට ද සලකා බලමින් සිටී.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here