පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බකරු ඊබ්‍රහිම්ගේ රන්, මැණික් මුදාහරින්න නියෝග කරයි

0
4

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු පදිංචිව සිටි දෙමටගොඩ පිහිටි නිවසේ තිබී භාරයට ගත් මැණික්, රන් ආභරණ ඇතුළු වටිනා දේපළ සතියක් ඇතුළත ඔහුගේ සහෝදරයා වෙත වහාම මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (25) නියෝග කළේය.

අධිකරණය විසින් ලබාදුන් නියෝග දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකර ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පැතීම වැරැදි සහගත ක්‍රියාවක් බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා පූර්වගාමී විනිසුරුවරුන් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාධාරණ කාලයක් ලබාදෙමින් බව මහහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේය.

අධිකරණ නියෝග නොසලකා හරිමින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවූ අවස්ථාවේදී දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසකද පිපිරීමක් සිදුවූ අතර එම නිවසේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි බව අනාවරණය විය.

එම නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් මැණික්, රන් ආභරණ ඇතුළු වටිනා දේපළ තමන්ට අයත් බවත්, එම භාණ්ඩ මුදාහරින ලෙසත් ඉල්ලමින් ෂැංග්‍රිලා බෝම්බකරුගේ සහෝදරයකු වන ඉස්ලාල් අහමඩ් නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය වෙත ඉල්ලීමක් කර තිබිණි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මියගිය ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ සහ දෙමටගොඩ නිවසේ පිපිරීගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාන් අහමඩ්ගේ සොහොයුරකු වන ඉෆ්ලාල් අහමඩ් සිය නීතිඥවරයා මාර්ගයෙන් අදාළ භාණ්ඩ සඳහා ඉල්ලීමක් එලෙස අධිකරණය වෙත සිදු කර තිබිණි.

මහෙස්ත්‍රාත්වරයා:

මෙම භාණ්ඩ මුදාහැරීම සම්බන්ධයෙන් නියෝගයක් සිදු කිරීමට පෙර පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීම සඳහා සාධාරණ කාලයක් ලබාදී තිබෙනවා. නමුත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු කරුණක් දක්වා නැහැ. එමනිසා අද සිට සතියක් ඇතුළත මෙම භාණ්ඩ ඉල්ලුම්කාර පාර්ශ්වයට මුදාහැරීමට කටයුතු කරන ලෙස නියෝග කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:

මෙම භාණ්ඩ මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බැවින් ඒ පිළිබඳ දැනුම් දීමට සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මහෙස්ත්‍රාත්වරයා:

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම, අපරාධ නීතිය යටතේ බරපතළ වරදක්. අධිකරණ නියෝග අනුව කටයුතු නොකළොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. මෙම භාණ්ඩ සතියක් ඇතුළත මුදාහරින ලෙස නියෝග කරනවා.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here