පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් කිරීමට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි

0
4

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (03) නියම කළේය. 

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව තමන් විසින් නිරීක්ෂණ කීපයක් ලබාගෙන තිබෙන බව සඳහන් කළේය.

එහෙත් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පෙර මෙම නඩුකරයට අදාලව සමස්ත නිරීක්ෂණ ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඊට අමතරව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම අවසර ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියාය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධිර මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව පැවසුවේය. 

සිය සේවාදායකයාගේ පත්වීම් සහ විනය බලධාරියා පාර්ලිමේන්තු මහ ලේකම් බවත් ඔහුගේ වැඩ තහනම් කිරීමට පාර්ලිමේන්තු උපදේශක කමිටුවට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය. 

ඔහුගේ වැඩ තහනම් කර තිබෙන්නේ වැටුප් රහිතව බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 වනදා සහ 19 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

සීමිත විරෝධතා සහ ලේඛන ඉදිරිපත් කරන්නේ ඒවා පෙත්සම්කාර පාර්ශ්වය සහ සෙසු වගඋත්තරකරුවන් වෙත නොතිසි ලබාදී  ඒවා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියෝග කළේය.

එම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර ඇත.

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here