පළාත් පාලන හා නගර සභා මැතිවරණය පැවැත් වෙමින් තිබියදී ඇතිවූ ගැටුමක දී රාජාණ්ඩුවාදී ශිෂ්‍යයෙකු වන Quentin Deranqueගේ මරණය පිළිබඳව පැරිසියේ එක්සත් ජනපද තානාපති Charles Kushner විසින් සිදු කරන ලද ප්‍රකාශයකට විරෝධය පාමින් ඔහුව ප්‍රංශ විදේශ අමාත්‍යංශයට කැඳවා ඇතැයි වාර්තා වේ. එහෙත් අදාළ කැඳවීමට ඇමරිකානු තානාපතිවරයා නොපැමිණීම නිසා දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුධයක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇත. රාජාණ්ඩු ශිෂ්‍යයාගේ මරණය මේ වනවිට ප්‍රංශය පුරා මහත් ආන්දෝලනයකට පත් වී ඇති අතර නාසි කල්ලි හා වාමාංශික තරුණ-ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් උග්‍ර වී දැවැන්ත ෆැසිස්ට් හා නාසිවාදී විරෝධයක්ද රට පුරා ගොඩ නැගෙමින් පවතින බවද වාර්තා වේ.
මෙම මරණය සම්බන්ධයෙන් අදහස් පල කළ ඉතාලි ජාතිකවාදී අගමැතිනි, Giorgia Meloni හා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් ඉන්දියානු සංචාරය අතර තුරදී තම විරෝධය පල කරනු ලැබුවේ තමන්ගේ රටේ බැටළුවන් බලා ගන්නා ලෙස ඔවුන්ට තරයේ අවවාද කරමිනි.
මේ අතර මියගිය තරුණයා වෙනුවෙන් ප්‍රංශ පාර්ලිමේන්තුවේදී මිනිත්තුවක නිහඬතාවයක් පල කළ මක්රෝන් සහය දක්වන රජයට දැඩි විරෝධයක් ප්‍රංශ සමාජයෙන්ද එල්ල වෙමින් පවතී.
1936 දී ප්‍රංශ වාමාංශික රජයේ අගමැති ලියොන් බ්ලුම්ට පහර දුන් ACTION FRANCAIS අන්තවාදී කණ්ඩායමට අයත් සාමාජිකයෙකු වන මරා දැමු ශිෂ්‍යයා අයත් වීම දෛවයේ සරදමක් යයි LFI වාමාංශික ව්‍යාපාරය පෙන්වා දෙයි. 2022 වසරේ සිට නාසි වාදී කණ්ඩායම් විසින් මරා දැමු 12 දෙනාට නොලැබුණු ගෞරවය ෆැසිස්ට්වාදි ව්‍යාපාරයක සාමාජිකයෙකුට ලබා දීමෙන් ජාතිවාදීන්ගේ බලපෑම ප්‍රංශ සමාජය තුළ තහවුරු වී ඇති අතර එයට එරෙහිව ජනතාව පෙළ ගස්සන බවට LFI ඇතුළු වාමාංශික පක්ෂ හා කණ්ඩායම් මේ අතර රජයට අනතුරු හඟවයි.
පළාත් පාලන හා නාගරික සභා චන්දයත් සමග ප්‍රංශ සමාජය තුළ යළිත් වරක් රාජාණ්ඩු වාදී විරෝධය, 1940-45 ජර්මන් ආක්‍රමණය හා එයට එරහිව ගොඩ නගන ලද දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය, යුදෙව් සංහාරය වැනි කාරණා සම්බන්ධයෙන් කතා බහ උත්සන්න වී ඇත. විශේෂයෙන් ප්‍රංශයේ යළි රාජාණ්ඩුවක් බිහි කිරීමට සටන් කරන ACTION FRANCAIS නම් අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙකු වන මිය ගිය ශිෂ්‍යයාගේ මරණයත් සමග නාසි හා පැසිස්ට් විරෝධය පාසැල් තුළල, විශ්වවිද්‍යාල හා වැඩබිම් ඇතුළු ප්‍රංශ සමාජය තුළ ප්‍රධාන මාතෘකා බවට පත්ව ඇත.
ACTION FRANCAIS යනු 1940–45 කාලයේදී ඍජුවම ජර්මන් ආක්‍රමණය සමග පෙළ ගැසී නාසි ගැති රූකඩ පෙතාන් පාලනය සමග එක් වී කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන්, ප්‍රගතිශීලින්, මානවවාදීන්, යුදෙව්වන් සංහාරය සඳහා එක් වූ සංවිධානයක් වේ. මොවුන්ගේ මැදිහත් වීමෙන් නිර්මාණය කල අතුරු හමුදා මගින් විශාල කොමියුනිස්ට් සාමාජිකයින් පිරිසක් මරා දැමුණු අතර එයට පිළිතුරු ලෙස කොමියුනිස්ට් පක්ෂය හා ඩිගොල් විසින් ගොඩ නගන ලද දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය විසින්ද නාසිවාදීන් හා දේශද්‍රෝහීන් ලක්ෂයකට අධික පිරිසක් 1940-45 කාලය තුළ දී ඝාතණය කළ බව පැවසේ.
දෙවන ලෝක මහා යුද්ධය අවසන් වීමත් සමග මෙම නාසි සංවිධාන තාවකාලික ලෙස අකර්මන්‍ය වුවත් කාලයත් සමග විශේෂයෙන් 68 ශිෂ්‍ය අරගල කාලය තුළත්, ඇල්ජිරියානු හා වියට්නාම යුධ සමයේත් නැවත හිස ඔසවන ලද්දේ ප්‍රංශ යටත් විජිතවාදය ආරක්ෂා කර ගැනීම සඳහා බිහි වූ අතුරු සංවිධාන ලෙසය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම කල්ලිවලට නිත්‍යානු කුලව වැඩ කිරීමට හැකි වූ අතර ඔවුන් යළිත් වරක් රහසිගත ප්‍රහාර එල්ල කරන්නට විණි. එතැන් සිට ඔවුන් ඇල්ජිරියාව, අප්‍රිකාව, ඉන්දු චීනය තුළ ප්‍රංශ යටත්විජිතවාදය ආරක්ෂා කරමින් එයට එරෙහිව සටන් කළ වාමාංශික පක්ෂ හා කැමූ, සාත්‍රේ වැනි බුද්ධිමතුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන නාගරික ගරිල්ලා කල්ලි බවට පත් විනි.
වර්තමාන යුගයේදී මෙම නාසි කල්ලි යුරෝපයේ නාසි කල්ලි සමග බද්ධ වී විදේශ සංක්‍රමිකයින්, LGBT ප්‍රජාව, යුදෙව් ප්‍රජාව හා මුස්ලිම් ආගමික ස්ථානවලට පහර දීම දිගින් දිගටම සිදු කරනු ලබයි. එහි ප්‍රථිපලයක් වශයෙන් එයට එරෙහිව වාමාංශික පක්ෂ, අරාජිකවාදීන් ප්‍රති ප්‍රහාරක සංවිධාන පිහිටුවන ලදී. ගාසා යුද්ධය හා යුක්රේන යුද්ධ තුළ මෙම ජාතිවාදී කණ්ඩායම් ට්‍රම්ප්ගේ, නෙතන්යාහු ගේ මුස්ලිම් විරෝධය සමග එක් වුනු අතර ඔවුන්ට නිදහසේ තම ජාතිවාදී ප්‍රකාශ මාධ්‍ය තුළින් ප්‍රචාර කිරීමටද ඒ අනුව හැකි විණි. ඒ අනුව ගාසා යුද්ධයට එරෙහිව කටයුතු කරන වාමාංශික පක්ෂ හා සංවිධානවලට “ඉස්ලාම්වාදී-වම්මු” යන ලේබලයද ඇලවිණි. මෙම ඉස්ලාම් විරෝධි ප්‍රචාරක ජාලය ප්‍රංශය තුල ඉතා දැඩිව ක්‍රියාත්මක වන සියොන්වාදී-අන්ත ප්‍රතිගාමී දක්ෂිණාංශික කල්ලි මගින් “යුදෙව් විරෝධී ලේබලය” අලවමින් ප්‍රචාරය කෙරිණි.
එහිදී ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික පක්ෂයක් වන LFI හි සාමාජිකා හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීණි Rima Hassan වෙත මහ මග දී පවා සියොන්වාදී කල්ලි වෙතින් ප්‍රහාර හා අපහාසවලට ලක් වීමට ද සිදු විණි. සම්භවයෙන් පලස්තීන තරුණියක් වන Rima Hassan පසුගිය කාලයේ සංවිධානය කළ ගාසා සඳහා යවන ලද නෞකාවේ ස්ව්ඩිනයේ GRETA TUNBURGගේ සාම සංචාරයටද සහභාගී විණි.
මෙම අර්බුධකාරී තත්වය ඇතිවීමට ප්‍රංශය මේ වනවිට මුහුණ දී ඇති උග්‍ර ආර්ථික අර්බුධය සමගද ඍජුව බැඳී ඇති බව දේශපාලන නිරීක්ෂකයින් ගේ මතයයි. 2025-2026 දී ප්‍රංශ ආර්ථිකය මධ්‍යස්ථ වර්ධනයක් ලබා ගෙන ඇත: 2025 වසර තුළ එය 0.7% සිට 0.9% දක්වා වැඩි වීමක් පෙන්නුම් කළේය. විරැකියා අනුපාතය 7.9%ක් පමණ පවතින අතර 2025 අවසානයේ උද්ධමනය 0.4% සිට 0.8% දක්වා සැලකිය යුතු ලෙස පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටීමක් සනිටුහන් කළේය. රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 117%ක් පමණ ඉහළ මට්ටමක පවතින අතර අයවැය හිඟය ඩොලර් බිලියන 160ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් පමණ වේ. ජාත්‍යන්තර FITCH මුල්‍ය ශ්‍රේණි ගත කිරීම් වලදී ප්‍රංශය A+ හා ලෝකයේ 11වන ස්ථානයේ පසුවේ. දේශපාලන අස්ථාවර භාවය හා අධික අයවැය හිඟය, ණය ඉහළ අගයක පැවතීම මෙම ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීමට හේතුන් ලෙස ඔවුන් පෙන්වා දේ.
එසේම දේශපාලන තලය තුළ සම්ප්‍රදායික දක්ෂිණාංශික, වාමාංශික පක්ෂ මගින් සිදු කරන ලද ඇතැම් දූෂිත ගණුදෙනු දිනෙන් දින අධිකරණයේ දී ඔප්පු වීම, ඇතැම් වාම හා දක්ෂිණාංශික නායකයින් එප්ස්ටයින් සමග සිදු කළ ගණුදෙනු යන කාරණාද හේතුවෙන් ප්‍රංශ ජනතාව අන්ත ජාතිකවාදී පක්ෂවලට තල්ලු වී ගොස් ඇති නමුත් එම අන්තවාදී පක්ෂවල නායකයින්ද ඍජුවම දූෂිතයින් බවටද අධිකරණයෙන් තහවුරු වී ඇත. ප්‍රධාන අන්ත ජාතිවාදී සංවිධානයක් වන RN හි නායිකාව වන මැරීන් ලුපෙන් දූෂිත ගණුදෙනු චෝදනාවක් හේතුවෙන් පසුගියදා අධිකරණයෙන් වැරදිකරු වීම මෙයට කදිම නිදසුනකි. එසේම එම පක්ෂයේ දෙවැනියාට එරෙහිවද රජයේ මුදල් අව භාවිතාවට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
මේ නිසා ජනතාව අතරින් යම් පිරිසක් හා තරුණයන් අන්ත නාසිවාදී කල්ලි වෙත යොමු වී ඇත. වාමාංශික පක්ෂවල නායකයින්ටද මෙවැනි දූෂණ චෝදනා හේතු වීමත්, කම්කරු ජනතාව, තරුණයන් විශාල වශයෙන් වෙනත් ජාතිවාදී පක්ෂ හා කණ්ඩායම් වටා එක් වීමට හේතු වී ඇත. කම්කරු පංතියෙන් 30-40%ක ප්‍රමාණයක් අන්ත ජාතිවාදී පක්ෂවලට සහය දක්වන බවට ඇතැම් රාජ්‍ය ඔත්තු සේවා වාර්තා පෙන්වා දේ. එසේම ආරක්ෂා හමුදා, පොලිසි තුළ පවා 50%ක පමණ ප්‍රමාණයක් තම ඡන්දය පාවිච්චි කිරීමේදී මෙම පක්ෂවලට සහය දක්වන බවද පැවසේ. මෙහි ප්‍රථිපලය වී ඇත්තේ බහුතර ජනතාවක් චන්ද පොලෙන් ඈත් වීමයි. අන්ත ජාතිවාදී පක්ෂ වැඩි ආසන ප්‍රමාණයක් පාර්ලිමේන්තුව තුළ දිනා ගැනීමට එයද බලපා තිබේ.
මෙම තත්වය මත තවත් වසරකින් එනම් 2027 දී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහා මැතිවරණයට පෙර 2026 වසර යනු වෙන කවරදාටත් වඩා අර්බුධකාරී තත්වයන්, ගැටුම් ඇති වීමට ඉඩ ඇති බව විචාරකයින්ගේ මතයයි.
ට්‍රම්ප්ගේ සුපරි සුදු අධිරාජ්‍යය සංකල්පය, දිගින් දිගටම ජයග්‍රහණය කළ නොහැකි යුද්ධයක් සඳහා යුක්රේනයට මුදල් ලබා දීම හේතුවෙන්ද ගෑස්, තෙල් මිල උද්ධමනය ඉහළ යාමද ඉතා දරුණු ලෙස ප්‍රංශ සමාජයට බලපා ඇති ජාත්‍යන්තර සාධක වේ. විශේෂයෙන් ප්‍රංශය අප්‍රිකාව තුළ තම පෙර යටත් විජිත ලෙස සැලකෙන මාලි, බුර්කිනා, නයිජර් වැනි රටවල්වලින් පිටවීමට සිදු වීමත් ආර්ථික අර්බුධය උග්‍ර වීමට බලපා ඇත. එම නිසාම මක්රෝන් විසින් රුසියාව සමග යළි සාකච්චා කිරීම, ඉන්දියාව හා චීනය සමග සමීප වීමටත් යුරෝපා සංගමය තුළ ඇමරිකානු ට්‍රම්ප්ගේ ජාතිකවාදී ප්‍රචාරක ජාලාවලට එරෙහිව හා ජර්මානු ආර්ථික බලපෑම් අවසන් කිරීමටද උත්සහ කරමින් සිටි. ට්‍රම්ප් විසින් තම තීරු බදු පෙන්වමින් මක්රෝන් ජනාධිපතිවරයා සමච්චලයට ලක් කිරීම තුළද ප්‍රංශ ජනාධිපති ඇතුළු රජයේ නායකයින් වාමාංශික පක්ෂවල හා ජනතාවගේ කෝපයට ලක් වී ඇත. මේ නිසාම ඇමරිකාවෙන්, රුසියාවෙන් හා චීනයෙන් එන බලපෑමෙන් යුරෝපා සංගමය ස්වාධීන කර ගැනීම සඳහා මක්රෝන් උත්සාහයක නිරත වී සිටින්නේ ඉන්දියාව ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් සමගද සමීප ඇසුරක් ගොඩ නගා ගනිමිනි.
එහෙත් මක්රෝන් ගේ මෙම උත්සහයට යුරෝපා සංගමය තුලම සිටින ට්‍රම්ප් වාදී රජයන් නියෝජනය කරන ඉතාලිය, හංගේරියාව, ස්ලොවේකියා වෙතින් මෙන්ම, අන්ත ජාතිවාදී දේශපාලන ව්‍යාපාරවලින්ද බාධා පැමිණෙමින් පවතී. යුරෝපයේ ආරක්ෂාව, සංක්‍රමණික ප්‍රශ්ණ සම්බන්ධයෙන් ප්‍රංශය ජර්මනිය හා ඉතාලිය සමග නිතර ගැටේ. විශේෂයෙන් යුරෝපා සංගමය පුර හඹා එන ජාතිවාදී දක්ෂිණාංශික හා අන්ත දක්ෂිණාංශික හෝ ආගම්වාදී ප්‍රවණතා සමග ගැටීමට සම්ප්‍රදායික විප්ලවීය ඉතිහාසයකට හිමි කම් කියන ප්‍රංශයට සිදු වී ඇත්තේ එරට අභ්‍යන්තරික ෆැසිස්ට් පන්නයේ අන්තවාදීන්ටද මුහුණ දෙමිනි. යුරෝපා පාර්ලිමේන්තුව තුළද ශක්තිමත් වී ඇති මෙම ප්‍රවණතාවය සම්මත කර ගන්නා ඇතැම් පනත් ප්‍රංශයේ විප්ලවීය සම්ප්‍රදායයට ඍජුවම හානි කරමින් පවතී.
මේ වනවිට වාමාංශික ව්‍යාපාරයට එරෙහිව මෙන්ම ට්‍රම්ප්ගේ මතවාදය සමග එක්ව ගමන් කරන මෙම අන්ත ජාතිවාදීන් සංක්‍රමණික ප්‍රජාවන්ට හා LGBTQ ප්‍රජාවට එරෙහිව ලොව පුරා කඳවුරු ශක්තිමත් කරමින් පවතී. එහි ප්‍රථිපලයක් ලෙස යුරෝපා පාර්ලිමේන්තුව තුළත් යුරෝපා සංගමය තුළත් මෙම ජාතිවාදී පක්ෂ බලයට ඒමේ ප්‍රවණතාවය වැඩි වී ජාතිවාදී අණපනත් සම්මත කර ගැනීම යුරෝපා පාර්ලිමේන්තුව තුළද ඉහළ ගොස් ඇත. ප්‍රංශය තුළ මෙම ජාතිවාදී කණ්ඩායම් විවිධ පක්ෂවලට බෙදී තිබුනද සමස්ථයක් ලෙස 40-45% ප්‍රමාණයක් අන්ත ජාතිවාදී දේශපාලන වැඩ පිළිවෙලට සහය දක්වන තත්වයක් දක්නට ලැබේ. රාජාණ්ඩුවාදී ශිෂ්‍යයාගේ ඝාතණයත් සමග ඔවුන්ට යම් අනුකම්පාවක් සමාජය තුළ හිමි වී ඇත.
රාජාණ්ඩු වාදී Quentin Deranque ගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රතිචාර දක්වනු ලැබුවේ අන්තවාදී වාමාංශික සංවිධානවලට මුහුණ දීමට ප්‍රංශ රජයට හැකියාවක් නැතැයිද වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසද ඉල්ලා සිටිමිනි.
“ඔබ මිනිසුන්ව දේශපාලනිකව ඒත්තු ගන්වා දිනා ගැනීමට උත්සහ කිරීම වෙනුවට ඔවුන්ගේ විශ්වාසයන් නිසා මරා දැමීමට තීරණය කරන විට, ඔබ ශිෂ්ටාචාරයෙන් පිටත සිටී. තරුණ ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධව සිදුවන අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව එක්සත් ජනපද රජය සමීපව නිරීක්ෂණය කරනවා” යයි ඇමරිකානු මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් සාරා රොජර්ස් තවත් ඉදිරියට යමින් එදිනම X හි ලිවීය.
මෙම ප්‍රකාශණය ප්‍රංශය තවත් කේන්ති ගැන්වීමට හේතු වූ ප්‍රකාශණයක් විණි. මීට පෙර ට්‍රම්ප් විසින් ප්‍රංශය විදේශ සංක්‍රමිකයින් නිසා අප්‍රිකාවක් බවට පත්ව ඇතැයි යයිද ප්‍රකාශ කර තිබිණි. මෙවැනි අත්තනෝමතික ප්‍රකාශ හා තීරුබදු හේතුවෙන් ප්‍රංශය හා ඇමරිකාව අතර මේ වනවිට සීතල යුද්ධයක් ඇති වී තිබේ.
ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ප්‍රංශයේ වර්තමාන ඇමරිකානු තානාපති Charles Kushner විසින් X හි මරා දැමු Quentin Deranque ශිෂ්‍යයා පිළිබඳව මෙසේ සඳහන් කර තිබිණි.
“මෙම ඝාතණය නිසා අප සැම දෙනාම කනස්සල්ලට පත් වී තිබෙනවා. “මහජන ආරක්ෂාවට තර්ජනයක්” බවට පත්ව ඇති “ප්‍රචණ්ඩ වාමාංශික අන්තවාදය” මැඩ පැවැත්වීමට ප්‍රංශ රජය පියවර ගත යුතුයි” යයි ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රංශ රජය ඉලක්ක කරමින් පණිවිඩයක් යවා තිබුණි.
මෙම පණිවිඩය සමගින් ප්‍රංශ රජය කෝපයට පත් වූ අතර “ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ප්‍රතිගාමී පාලනවලින් ප්‍රංශයට ඉගෙන ගැනීමට පාඩමක් නැති බව” ප්‍රංශ විදේශ අමාත්‍ය jean-Noël Barrot එයට එදිනම පිළිතුරු දෙමින් පවසා සිටියේය. ඒ අනුව ප්‍රංශ රජය පෙබරවාරි 22දා කියා සිටියේ ඇමරිකානු තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට පැමිණෙන ලෙස නියෝග කළ බවය. මීට පෙරද මේ ආකාරයෙන්ම අදාල තානාපති වරයා විසින් “ප්‍රංශය තුළ යුදෙව් ජනතාවට ආරක්ෂාව ලබා දීමට අපෝසත්” යයි සඳහන් කිරීම නිසාද ප්‍රංශ විදේශ ඇමති විසින් ඔහුව කැඳවා අවවාද කරන ලදී.
“තෙවන පාර්ශවීය රාජ්‍යයක බලධාරීන් විසින් තම රටේ අභ්‍යන්තර ආරක්ෂාවට හා මහජන විවාදයට පත් වූ සිද්ධියක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ හැසිරවීමට උත්සහ කිරීම ස්වරී රාජ්‍යයක් ලෙස ප්‍රංශයට පිළිගත නොහැකිය,” යනුවෙන් jean-Noël Barrot අමාත්‍යවරයා මාධ්‍ය වෙත පසුව පවසා සිටියේය.
නමුත් එක්සත් ජනපද තානාපති Charles Kushner විදේශ අමාත්‍යවරයාගේ කැඳවීමට පෙනී සිටියේ නැත. එහි දී ප්‍රංශ රජය ඇමරිකානු තානාපතිවරයා සමග කිසියම් හෝ සම්බන්ධකම් පවත්වන හෝ පැවැත්වීමට උත්සහ කරන රජයේ හෝ විපක්ෂයේ නියෝජිතයින්ට තහනමක් පනවනු ලැබිණි. එවැනි තහනමක් උල්ලංඝණය කරන අයෙකුට ප්‍රංශ නීතිය අනුව වසර 20-30ක් සිර දඬුවම් විදීමට සිදුවේ.
එයින් කලබලයට පත් ඇමරිකානු තානාපති Charles Kushner පෙබරවාරි 24 වැනිදා ප්‍රංශ විදේශ අමත්‍යවරයාට දුරකථන පණිවිඩයක් ලබා දෙමින් තත්වය සමනය කර ගත් බව වාර්තා වේ.
“ඇමරිකානු තානාපතිවරයා ප්‍රංශ රජයේ විරෝධය පිලි ගත් අතර, ප්‍රංශයේ අභ්‍යන්තර ප්‍රශ්ණවලට මැදිහත් නොවීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළ අතර, වසර 250ක ඉතිහාසයක් ඇති ප්‍රංශය සහ එක්සත් ජනපදය අතර මිත්‍රත්වය නැවත අවධාරණය කරනු ලැබුවා,” යයි අද පෙබරවාරි 25 වන දින ප්‍රංශ විදේශ අමාත්‍ය jean-Noël Barrot මාධ්‍ය වෙත පවසා සිටියේය.
ප්‍රංශ විප්ලවවාදීන් ඇමරිකානු විප්ලවයට සහබාගි වීම, 1945 නෝමන්ඩි මිත්‍ර හමුදා මෙහෙයුම වැනි කාරණා මෙන්ම ජෙනරල් ඩිගොල් විසින් පසුව නේටෝ සංවිධානයෙන් ඉවත් වී පැරීසියේ නේටෝ මුලස්ථානය අත්පත් පත් කර ගනිමින් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම, ඉරාකයේ ඇමරිකානු ආක්‍රමණයට ප්‍රංශය විරුද්ධ වීම වැනි කාරණා හේතුවෙන් ප්‍රංශය හා ඇමරිකාව අතර නිරතුරුවම ගැටුම් හා මිත්‍රතත්වයන් ඉතිහාසය පුරා ඇති වී තිබේ. නමුත් ප්‍රංශය නැවත නේටෝ සංවිධානයට එක් වීම හා ට්‍රම්ප් විසින් පනවන තීරු බදු හේතුවෙන් ලෝක වෙළඳ පල බෙදා ගැනීමේ සීතල යුද්ධයක් රාජ්‍යයන් දෙක අතර දිනෙන් දින උත්සන්න වීමක් මේ වනවිට ඇති වී තිබේ.
ඒ අනුව මේ වනවිට ජාත්‍යන්තර, යුරෝපිය හා ජාතික වශයෙන් කුණාටුවක් ලෙස ඉදිරියට එන අන්ත ජාතිවාදී, පැසිස්ට්වාදී හා නාසිවාදී ප්‍රවාහය සමග ප්‍රංශ සම්ප්‍රදායික විප්ලවීය ප්‍රතිපත්ති ඍජුව හා වක්‍රව ගැටෙමින් පවතී. එම ගැටුමේ අවසානය අන්ත ජාතිවාදීන්ගේ ජයග්‍රහණයෙන් අවසන් වේද යන්න දැනට කිව නොහැකි නමුත් 1789, 1830, 1848, 1871 පැරිස් කොමියුනය, 1940-45 දේශප්‍රේමී අරගලය, 68 ශිෂ්‍ය අරගල යන සියළු ජනතා නැගිටීම්වලින් හා විප්ලවීය දර්ශණයන්ගෙන් සන්නද්ධ වූ ඉතිහාසයකට උරුම කම් කියන ප්‍රංශ ජනතාව බාහිර බලපෑම් මත පැමිණෙන නව ප්‍රතිගාමිත්වයකට රට තුළ බලය ගැනීමට ඉඩ දී නිහඬව සිටී යයි අනුමාන කළ නොහැකි බවද දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙයි.
මේ වනවිට ප්‍රංශය පුරා දිනෙන් දින ඉදිරියට පැමිණෙමින් තිබෙන දැවැන්ත ෆැසිස්ට් හා නාසි විරෝධය තුළ නිරික්ෂණය වනුයේ මෙම අතීත විප්ලවීය භාවිතාව හා 2026 වසර තීරණාත්මක වසරක් බවට පත් වීමේ අවධානම බවද ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.
412
Saru News















