ශ්‍රී ලංකාව යනු වසර පහක කාලයක් පුරා මූල්‍ය අර්බුදයකින් සහ දේශපාලන අස්ථාවරත්වයෙන් පසුව එයින් මිදුණු රටකි ශ්‍රී ලංකාවේ අගමැතිනිය වනුයේ හරිනි අමරසූරිය යි. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් හා සුප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන අනුරාධපුරය ඇතුළුව තම රටේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට අප්‍රේල් 1 වන දින ප්‍රංශයට පැමිණි අවස්ථාවේදී පැරිසියේ පිහිටි ප්‍රංශ රජයේ ප්‍රධානතම මාධ්‍ය ජාලය (RFI) සමඟ කතා බහකට එක්විය.
RFI : අගමැතිතුමියනි, ඔබ ඔබේ තනතුරට පත් වුණේ පසුගිය නොවැම්බර් මාසයේදීයි. ඔබේ රජයේ දින සීයේ කාලය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය : රටේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීම අපගේ ප්‍රමුඛතාවය වූ අතර, බලයේ පළමු දින සියය තුළ අප සාර්ථක කර ගත්තේ එය බව මම විශ්වාස කරනවා. පසුගිය වසරවල ඇති වූ කැළඹිලි සහිත තත්වයෙන් පසු, රජයේ පොරොන්දු සහ ක්‍රියාවන් අතර කිසිදු පරතරයක් නොමැතිව, ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසය තැබිය හැකි රජයක් යටතේ ස්ථාවර විධායකයක් පාලනය කරන බවට සහතිකයක් ජනතාවට ලබාදීමට අපට අවශ්‍ය වුණා. අපි තවමත් සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදී නැති බව මා නොකියුවත්, ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි, මෙය මූලික අත්‍යවශ්‍ය ප්‍රවේශයක් යැයි මම විශ්වාස කරනවා, අපේ රටේ පැවති පාලනයන්ට වඩා වෙනස් ලෙස දේශපාලනය කිරීමේ හැකියාව රට තුල නිර්මාණය කිරීමට අපි සමත් වී තිබෙනවා. ඡන්දදායකයින් විසින් පැවති දේශපාලන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරමින් නව පාලනය පිළිබඳව විශ්වාසයක් ඇති කර ගත්තා. මේවා පළමු දින සීයය තුළ ලබා ගත් ප්‍රධාන ජයග්‍රහණ කියලා මම හිතනවා.
RFI : ඔබේ විරුද්ධවාදීන් ඔබ සමග සිටින පිරිවර මාක්ස්වාදී-ලෙනින්වාදී මනෝරාජිකවාදයේ සිරවී සිටින “උග්‍ර න්‍යායයවාදීන් පිරිසක්” ලෙස නිරූපණය කරනවා. ඔබ සහ ඔබේ සෙසු රජයේ අමාත්‍යවරුන් නිරූපණය කරන මෙම චිත්‍රයෙන් ඔබට ඔබව හඳුනාගත හැකිද?
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය : මාක්ස්වාදී-ලෙනින්වාදී දෘෂ්ටිවාදය පිළිබඳ ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන්නේ ජනාධිපති අනුර දිසානායක විසින් නායකත්වය දෙන සහ අපගේ පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණයි. ජාතික ජන බලවේගය නොහොත් NPP කියන්නෙ, දේශපාලන වර්ණාවලියේ මධ්‍යස්ථ-වාමාංශික ස්වභාවයක් සහිත වඩාත් විවෘත සන්ධානයක්. 2019 සිට පසුගිය වසර පහ තුළ, ජාතික ජන බලවේගය ජනතාවට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය කරුණු මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ ජනතාව දිනපතා මුහුණ දෙන ගැටළු සඳහා වූ ප්‍රායෝගික විසඳුම් පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම, අපගේ කථාවලදී, සමාජ සාධාරණත්වය, යුක්තිය, සමානාත්මතාවය පිළිබඳව අපි කථා කරනවා. අපි සැමවිටම තහවුරු කර තිබන්නේ අප මතවාදීව කොටුවකට පමණක් සීමා වීමට ඉඩ නොදෙන බවයි. මෙතැන් සිට වර්තමානය දක්වා ඇති අවශ්‍යතා නොසලකා හරිමින්, ඕනෑම නව දෘෂ්ටිවාදී යථාර්ථයකට පක්ෂපාතී වීම අපට ප්‍රශ්නයක් නෙමෙයි.
RFI : ශ්‍රී ලංකා ආර්ථිකය නැවත වර්ධනයක් කරා පැමිණ ඇති බැවින්, ඔබගේ ප්‍රධාන සාර්ථකත්වයන්ගෙන් එක් අංශයක් වන්නේ ආර්ථීකය, නමුත් සාර්ථකත්වයේ ගෞරවය මුලින්ම හිමිවිය යුත්තේ IMF සමඟ ගලවා ගැනීමේ ණය සාකච්ඡා කළ පැවති ආණ්ඩුවට නොවේද?
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය : වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට පෙර රට පාලනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇත්ත වශයෙන්ම IMFමුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර තිබුණා. පසුගිය සැප්තැම්බර් මාසයේදී අපි බලයට පත්වීමට පෙර ණය ගිවිසුමක් ද අත්සන් කරලා තිබුණා. නමුත් ජනතාවට පිළිගත හැකි කොන්දේසි මත මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යළි මුල්‍ය අරමුදල සමග එය සමාලෝචනය කර ගැනීමට හැකිවීමේ ගෞරවය හිමි විය යුත්තේ වත්මන් අපේ රජයට කියලා මම හිතනවා.
අපි බලයට පත් වූ විගස මුල්‍ය අරමුදල සමග සම්භන්ධවෙලා මුල්‍ය අරමුදල යෝජනා කල දරුණු කප්පාදු කිරීම් ලිහිල් කිරීම සඳහා රජය සෑම උත්සාහයක්ම ගත්තා. උදාහරණයක් ලෙස, අපට අවශ්‍ය වුණේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ බදු ක්‍රමය සංශෝධනය කිරීමයි. අධ්‍යාපනික භාණ්ඩ සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා එකතු කළ බද්ද (VAT) අඩු කිරීමට ද අපට හැකි වුණා. රාජ්‍ය අංශයේ වැටුප වැඩි කර තිබෙනවා. මේ නිසා රට තුල සාමය ඇති කරන්න අපි සමත් වුණා. මේ හේතුවෙන් අපේ රජය රටතුළ ගෞරවයට පාත්‍රවී තිබෙනවා.
ගිවිසුම සාකච්ඡා කළ හිටපු ජනාධිපතිවරයා සමඟ ඇති වූ ගැටලුව එම ගිවිසුමට එරෙහිව නෙමෙයි. ගිවිසුමට ජනතාවගෙන් සහාය නොලැබීමයි. ශ්‍රී ලංකාවේ විවිධ සමාජ ස්ථර අතර ණය බර සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා, අපි IMF සමඟ සාකච්ඡා කළේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජනනවරම මත. දේශපාලන ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගය නොලැබෙන්නේ නම් ආර්ථික ස්ථාවරත්වයක් රටක් තුල සහතික කළ නොහැකි යි.
RFI : ඔබ මෙන්ම දිසානායක ජනාධිපතිවරයා ද තේරී පත් වූණේ පෙර පාලනයෙන් රැඩිකල් ලෙස බිඳී යන බවට දුන් පොරොන්දුවක් මත ඒ සඳහා ඉදිරිපත් කරන ඔබේ මාර්ග සිතියම ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය: සරලව කිව්වොත්, අපගේ මාර්ග සිතියම ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ දේශපාලන පන්තිය අතර ඇති සමාජ ගිවිසුම ප්‍රතිසංස්කරණය කිරීමයි. හ්‍රී ලංකාවේ , නිදහසින් පසු කාලය තුල ප්‍රභූ පැලැන්තිය සහ ජනතාව අතර කටුක ජන අරගල පැවතුණා. මෙම ආතතිය විවිධ ආකාරවලින් ප්‍රකාශ වී තිබෙනවා, විශේෂයෙන් අපගේ නූතන ඉතිහාසය ලේ වැගිරීම් වලින් ගහන වූ ගැටුම් සහ අන්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුණා. උතුරේ බෙදුම්වාදී සිවිල් යුද්ධය, 1971, 87-89 සිංහල තරුණ නැගිටීම එවැනි අවස්ථා දෙකක්. 2022 දී හට ගත් ශ්‍රේෂ්ඨ පුරවැසි විප්ලවය වන “අරගලය” ව්‍යාපාරය, සමානාත්මතාවයෙන් යුතු සමාජයක් සඳහා වූ අභිලාෂයෙන් ම ඇති වූ ජන අරගලයක්. අපගේ මාර්ග සිතියම මෙම අභිලාෂයට ප්‍රතිචාර දක්වන්නේ රාජ්‍යය සහ ජනතාව අතර සම්බන්ධතාවය අලුත් කිරීම සඳහා ශක්තිමත් අත්තිවාරමක් දැමීම තුළින්.
RFI : රාජ්‍යය සහ ජනතාව අතර සම්බන්ධතාවය නැවත ගොඩනැගීම සඳහා, සිවිල් යුද්ධයේදී සිදු වූ අපයෝජනයන් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන්ට ලක් වූ සිංහල බහුතරය සහ දෙමළ සුළුතරය අතර ජාතික සංහිඳියාවක් අවශ්‍යයි, පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී උතුරේ ඡන්ද දායකයින්ගේ ඉහළ ප්‍රසාදයක් අත්කර ගත් ඔබගේ දේශපාලන කඳවුර, පිලිබඳ ව ජනතාව ඉතා උනන්දුවෙන් බලා සිටිනවා. සිවිල් යුද්ධය පැවති වසරවලදී සිදු කරන ලද ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ගැන ඔබ සිතන්නේ කොහේද?
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය: ඔබ දන්නවාද කියලා මම දන්නේ නැහැ, 2009 දී උතුරේ සිවිල් යුද්ධය අවසන් වූ පසු පළමු පැය කිහිපය තුළ දකුණු අප්‍රිකානු ආකෘතිය මත පදනම් වූ “සත්‍යය සහ සංහිඳියාව” සඳහා කොමිසමක් හැකි ඉක්මනින් නිර්මාණය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ එවකට රජයෙන් ඉල්ලීමක් කළා. ඇත්ත වශයෙන්ම, මෙම ඉල්ලීම ඒ අවස්ථාවේ පාලන බලයේ සිටි පාලකයින් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත්තේ නැහැ.
යුද්ධය අවසන් වී වසර ගණනාවකට පසු අද අපි මේ තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නවා. සිවිල් යුද්ධය පිළිබඳ සත්‍යය සෙවීම සඳහා අද ස්ථාපිත කර ඇති විමර්ශන යාන්ත්‍රණය, පරිස්සමෙන් වළලනු ලැබූ මතකයන් නැවත ගොඩ ගැනීමෙන් දුක්ඛිත තත්ත්වයන්ගේ දොරටු විවෘත කරනු ඇතැයි යන බියක් ද සමාජය තුල මතු වී තිබෙනවා. එපමණක් නොව, මෙම වින්දිතයින් වසර ගණනාවක් පුරා පිහිටුවන ලද විවිධ විමර්ශන කමිටුවලට ඔවුන්ගේ සංවේගාත්මක අතුදැකීම් ප්‍රකාශ කරනවා. අද ජනතාවට අවශ්‍ය වන්නේ දැනටමත් වාර්තා වී ඇති තොරතුරු සහ හෙළිදරව් කිරීම් මත පදනම් වූ සංයුක්ත ක්‍රියාමාර්ගයක්. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය වැනි ආයතන මත විශ්වාසය තබමින්, මෙම වසරේ දී ඒ සඳහා වන වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍යයි.
එ වගේම මධ්‍යම රජය විසින් දියත් කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවලින් සියලුම පුරවැසියන්ට, ඔවුන්ගේ වාර්ගිකත්වය සහ ආගම නොසලකා පූර්ණ ප්‍රතිලාභ ලබා ගත හැකි බව අප මුලින්ම තහවුරු කර සහතික කළ යුතුව තිබෙනවා. බොහෝ කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර සුළු ජාතීන් මධ්‍යම රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රතිපත්තිවලින් බැහැර කර තිබුණා. මධ්‍යම රජයේ ව්‍යපෘති සම්බන්ධයෙන් තීරණ ගන්නන්ගේ කාර්යාලවලින් ඈත්ව ජීවත් වන පුරවැසියන්ගේ අවශ්‍යතා සහ උනන්දුවීම් ගැන දැඩිව හා සමීපව සැලකිල්ලට ගන්නා බව සහතික කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා.
RFI : පසුගිය දින සියය තුළ, රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මැදිහත් වීම නව ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් වී තිබෙනවා. ජනාධිපති දිසානායක නොවැම්බර් මාසයේදී ඉන්දියාවටත්, පසුව ජනවාරි මාසයේදී චීනයටත් ගියා. දැන් ඔහු කොළඹදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට සූදානම් වෙනවා. ඔබ රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් බෙදාගෙන ඇති බව පේනවා. ඔබට පුළුල් වූ ලෝකයත්, ජනාධිපතිවරයාට සංකීර්ණ අසල්වැසි කලාපයත් ලැබී තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය: රජයේ ප්‍රධාන ඇමති සාමාජිකයින් 21 දෙනා අතර අපි කාර්යයන් බෙදා ගන්නවා. මෙය විශේෂයෙන් සංකීර්ණ ශ්‍රම බෙදීමක්. මගේ ප්‍රංශ සංචාරය සම්බන්ධයෙන් ගත් කළ, ඉන්දීය අගමැති මෝදිගේ නිල සංචාරය අවසන් කිරීමට පෙර එය තීරණය කරන ලද්දක්. ඉන්පසු මම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ වසරේ බැංකොක්හි පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේදී මෝදී මහතා මුණ ගැසීමෙන් අනතුරුව මගේ ජනාධිපතිවරයා සමඟ යළි අගමැති මෝදි මහතා පිළිගැනීමටයි.
RFI : කොළඹ පාලනය මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය අතර ඇති තරඟය, පසුගිය සියවස ආරම්භයේදී ඇවිලී ගිය මධ්‍යම ආසියාවේ පැවති ඇන්ග්ලෝ-රුසියානු එදිරිවාදිකම් සිහිගන්වනවා. ඔබේ කුඩා දූපත් රාජ්‍යය මෙම “මහා බලවතුන්ගේ ක්‍රීඩාවේ” නව අනුවාදය අත්විඳින්නේ කෙසේද?
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය: ඔබට පෙනෙනවා ඇති ඓතිහාසිකව, ශ්‍රී ලංකාව යනු සැමවිටම තරඟකාරී අවශ්‍යතාවල කේන්ද්‍රස්ථානය වී ඇත්තේ, අපගේ භූ-උපායමාර්ගික පිහිටීම නිසා බව. සුපිරි බලවතුන් කිසි විටෙකත් අපව නොසලකා හැර නැහැ. අපි රටක් ලෙස ඔවුන් අතර තරඟකාරිත්වය ජනනය කර ඇති අතර ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ ප්‍රධාන හවුල්කරුවෙකු බවට ද අප ඓතිහාසිකව පත් වී සිටිනවා. ඉතින් මේ අභියෝග මධ්‍යයේ අපේම ආරක්ෂාව සහතික කර ගනිමින්, තරඟකාරී අවශ්‍යතා කළමනාකරණය කිරීමට අපි පුරුදු වී සිටිනවා. කලාපීය සුපිරි බලවතුන්ගේ ක්‍රියාකාරී සන්දර්භය තුළ අද අපට හමුවන මෙම සෙවනැලි, ශ්‍රී ලංකාව සැමවිටම තම අසල්වැසියන් සහ මිත්‍ර පාක්ෂිකයින් සමඟ විවිධ ආකාරයෙන් ගණුදෙනු කිරීමට සිදු වූ ආකාරයන් නිරූපණය කරනවා. චීනය සහ ඉන්දියාව යනු ආර්ථික, සංස්කෘතික, ආගමික යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍රවලින් අපට ඓතිහාසික සබඳතා ඇති රටවල්, අප අතර ව්‍යාපාරික සබඳතාවල අහඹු සිදුවීම්, බොහෝ චලනයන්, බොහෝ පැමිණීම් සහ පිටවීම් සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාව යනු මෙම සම්බන්ධතා වල විශාල කාර්යභාරයක් සිදු කළ රාජ්‍යයක්.
RFI : ඔබ විශිෂ්ට පාඨකයෙකු ලෙස කීර්තියක් ලබා ඇති බැවින්, සාහිත්‍යය පිළිබඳ ඔබේ රුචි අරුචිකම් අප සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මෙම සම්මුඛ සාකච්ඡාව අවසන් කිරීමට මම කැමතියි. ඔබ ආදරය කළ පොත් තුනක් නම් කරන්න.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය : මම මුලින්ම හිතන්නේ වී.වී. ගනේෂනන්දන්ගේ “Brotherless Night” penguin Books, 2023). මෙම පොත 2024 දී හොඳම ප්‍රබන්ධය සඳහා වූ කාන්තා ත්‍යාගය දිනා ගත්තා. එය නිසැකවම ශ්‍රී ලාංකික ගැටුම පිළිබඳව මා කියවා ඇති හොඳම පොත් වලින් එකක්. දිගු කලක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ගැටුම පිළිබඳ පොත් කියවීම මම නැවැත්තුවේ මේ තේමාව සම්බන්ධයෙන් මට මානසික අවහිරයක් එමගින් ඇතිවී තිබූ බැවින්. මෑතකදී මම උනන්දුවෙන් කියවූ අනෙක් පොත වනුයේ දකුණු කොරියානු ලේඛක හැන් කන්ග් විසින් රචිත Human Acts (Random, 2017) ය. ඒක ඇත්තටම අමාරු කියවීමක්, නමුත් වැදගත් එකක්. ඇත්තටම, මම හන් කන්ග් සහ ගනේෂනන්තන් යන පොත් දෙකම කියවා තිබෙනවා. මේවා යුද්ධය සහ එමගින් ඇතිකළ කම්පන සහගත සිදුවීම් සම්බන්ධයෙන් ඉතා ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් දෙකක්.
මම ඔබේ පාඨක අවධානය යොමු කිරීමට කැමති තුන්වන පොත නවකතාවක් නොවේ. “සියල්ලෙහි වටිනාකම” යන පිටු 400 කින් පමණ සමන්විත රචනාවක්. එය බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥවරියක් වන මරියානා මැසුකාටෝ විසින් රචිත එකක්. මට ආර්ථික විද්‍යාවට කැමැත්තක් තිබුනේ නෑ. නමුත් මම දේශපාලනයට ආපු ගමන් මට තේරුණා මට තවදුරටත් ආර්ථික විද්‍යාව නොසලකා හැරිය නොහැකි බව. ඇත්ත වශයෙන්ම, මැසුකාටෝගේ රචනාව තමයි මට ආර්ථික විද්‍යාව ගැන ඇත්තටම ඇල්මක් ඇති කළේ, ඇය ඒක කතාවක් විදිහට, දර්ශනයක් විදිහට, මානවවාදයක් විදිහට කියලා ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දේවල්වල රුචිකත්වය ලෙස දකින්නේ එහි වටිනාකම මිසක් ඒවායේ මිල නොවන බව මට මතක් කර ගැනීමට මම මෙම පොත නිතිපතා නැවත නැවතත් කියවනවා.
ප්‍රංශ රජයේ ප්‍රධානතම මාධ්‍ය ජාලය (RFI) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි,
Saru FM Media