තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
තලංගම, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ සිකුරාදා (13) පස්වරු 5ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් නීතීඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම කර පලා ගොස් තිබිණි.
මෙලෙස ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලාය.
වෙඩිතැබීමෙන් පසු පලා ගිය වෙඩික්කරුවන් රැගත් මෝටර් රථය කොට්ටාව සිකුරාදා පොළ හන්දිය අසලදී යතුරුපැදියක්ද අනතුරට ලක්කර පලා ගොස් තිබේ.
එම මෝටර් රථයේ සවිකර තිබූ ව්‍යාජ අංක තහඩුවක්ද වැටී තිබී පොලීසිය විසින් සොයාගන්නා ලදී.
අනතුරුව පලා ගිය වෙඩික්කරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් යොදවනු ලැබුවේ පොලිස්පතිවරයාගේ උපදෙස් මතය.
මෙම ඝාතනයට සම්බන්ධවූවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පැතූ අතර වෙඩික්කරුවන් පලා ගිය EP KI-7738 දරන මෝටර් රථය, ඩෑෂ් කැමරාවල සටහන් වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය විසින් ඊයේ (14) දැනුම්දෙන ලදී.
මෙවන් පසුබිමක වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් ඇති බවට පොලිසියට ඊයේ රාත්‍රීයේ තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ඒ වනවිටත් ගිනි ගනිමින් පවතින මෝටර් රථය ගිනි ගනිමින් පවතින මෝටර් රථය හමුවී ඇත.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ සිට කිලෝමීටර එකහමාරක පමණ දුරකින් පිහිටි ස්ථානයක අදාළ මෝටර් රථය ගිනි තබා විනාශ කර තිබුණු බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Saru News










