අධිකරණ නඩු කටයුතු සඳහා පැමිණෙන සියලු නීතිඥවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව් අමරසූරිය මහතා, නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (02) දන්වා සිටියේය.
අධිකරණ නඩු කටයුතු සඳහා පැමිණෙන නීතිඥවරුන්ට සහ අධිකරණ නඩු කටයුතු නිමා වී පිටව යන නීතිඥවරුන්ට කිසිදු බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා යම් නීතිඥවරයකුට එවැනි බාධාවක් එල්ල වන්නේ නම් ඊට එරෙහිව කඩිනමින් අවශ්‍ය පියවර ගත යුතු බවද සඳහන් කළේ ය.
අධිකරණ නඩු කටයුත්තක් නිම වී නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ජනවාරි 30 වැනිදා පිටව යෑමේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් ද සිල්වා මහතාට පහර දීමට උත්සාහ කර ඔහු ගමන් ගත් මෝටර් රථයට පහර දී අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළ නඩුව නුගේගොඩ මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා එලෙස දන්වා සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මෙසේ පැවසීය.
”අප සංගමයේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් ද සිල්වා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙහි පැවැති නඩුවක් සඳහා පෙනී සිට පිටව යෑමේදී ඔහුට පහර දීමට තැත් කිරීම තුළින් නීති ක්ෂේත්‍රයටම විශාල බලපෑමක් එල්ල වුණා. මෙවැනි ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ කටයුතු කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් ද සිල්වාට අධිකරණය ඉදිරිපිටදී පහරදීමට උත්සාහ කර, ඔහු ගමන් ගත් මෝටර් රථයට අලාභ හානි කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුව තිබෙනවා. මෙම සිද්ධියට අදාළ සියලු විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”
පැමිණිලිකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් ද සිල්වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස මෙසේ පැවසීය.
”ඕනෑම නීතිඥවරයකුට, ඕනෑම අධිකරණයක පෙනී සිටීමේ බලය තිබෙනවා. අධිකරණ කටයුතුවලට සහාය වීමට පැමිණීමට බලය තිබෙන නීතිඥවරයකුට එලෙස පෙනී සිටීම වැළැක්වීම හරහා නීතිඥවරුන් බිය ගැන්වීමට උත්සාහ කරනවා. මෙවැනි ආකාරයට ගියොත් ඉදිරියේදී අධිකරණ නිලධාරින්ටත් රාජකාරි කිරීමේදී ගැටලු මතුවිය හැකියි.”
පැමිණිලිකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙසේ පැවසීය.
”මෙවැනි කටයුතුවලින් අධිකරණ කටයුතුවලට බාධාවක් වෙනවා. ගමේ මිනිස්සු කියන දෙයක් තමයි අපි උසාවියේදී බලාගමු කියලා. මිනිස්සු ගහගන්නේ නැතිව අධිකරණයට ගිහින් ප්‍රශ්න විසඳ ගන්නවා. අධිකරණයට සහාය වීමට පැමිණෙන නීතිඥවරුන්ට එම කටයුතු සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් රටේ විශාල ප්‍රශ්නයක් ඇති විය හැකියි. ඒ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.”
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උදිත හිරිපිටිය සමග පෙනී සිටි එම සංගමයේ ලේකම් නීතිඥ රුවන් අල්විස් කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
”නුගේගොඩ වැනි ප්‍රාදේශීය අධිකරණයකට පිටතින් පැමිණි නීතිඥවරයකු අධිකරණ කටයුතු නිමවී පිටවී යෑමේදී ඔහුට පහරදීමට ගත් උත්සාහය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියටම වූ කැළලක් බව කිව හැකියි. මෙවැනි සිද්ධීන් මෙතැනින්ම නවතාගත යුතුයි. නීතිඥවරුන්ට සාමයෙන් වැඩ කිරීමට අවස්ථාව උදාකර දිය යුතුයි.”
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනානයක මෙසේ පැවසීය.
”26,000 ක් වන නීතිඥ ප්‍රජාවගේ ඔළුවට කුළු ගෙඩියෙන් ගහලා, ඔවුන් අධිකරණයට ඉදිරිපත් වීමේ අයිතිවාසිකම වළක්වන්න බැහැ. එසේ වැළැක්වීමට කුමන පුද්ගලයකු හෝ පාර්ශ්වයක් උත්සාහ කළහොත් නීතිඥවරුන් වන අපි සියලු දෙනා එකට එකතු වී ඊට එරෙහිව කටයුතු කරනවා.’’
මෙම සිද්ධියට අදාළව මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියම කළ මෙහෙස්ත්‍රාත්වරිය, එම සැකකරුවන් දෙදෙනා ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසද නියෝග කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව් අමරසූරිය සහ එම සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පෙනී සිටියහ.
පැමිණිලිකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් ද සිල්වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නලින්ද ඉන්ද්‍රතිස්ස, අනුජ ප්‍රේමරත්න, සම්පත් මෙන්ඩිස් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ නීතිඥවරුන් සමග එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක පෙනී සිටියහ.
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ නීතිඥවරුන් සමග එම සංගමයේ සබාපති නීතිඥ උදිත හිරිපිටිය, ලේකම් රුවන් අල්විස්, විදුර මංචනායක ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
ඊට අමතරව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පානදුර, මොරටුව, ගල්කිස්ස කැස්බෑව ඇතුළු නීතිඥ සංගම් රැසක නීතිඥවරුන් 100 ක් පමණ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මූලාශ්‍රය – අරුණ
Saru News








