නිහඬ කාල සීමාවේ නීති උල්ලංඝනය කරන අයට නීතිය දැඩිවෙයි – මැතිවරණ රාජකාරිවලට පොලිසියෙන් 65,000ක්

0
5


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුවව මේ වනවිට මැතිවරණ නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වනවා.

නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ අවශ්‍යතාව මත යුද හමුදා සාමාජිකයින් ද ඒ වෙනුවෙන් අනුයුක්ත කරන බවයි.

මේ අතර ඊයේ (03) පෙරවරු 6.00 සිට අද (04) පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලය තුළ මැතිවරණ අපේක්ෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

ඊට අමතරව ආධාරකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණි 22ක් සහ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 03ක් ද ලැබී ඇති බව පොලිසිය පැවසුවා.

2025 පළාත් පාලන මැතිවරණය අනිද්දා (06) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here